මේ කොළඹට අපි
තාමත් ආගන්තුකයි. ඒ හැඟීම මගේ හිත හැම තිස්සෙම කිචි කවනවා. කොළඹ... ඔව් කොළඹ තමයි
අපි ජීවිතේ හෙව්ව සහ අපිට ජීවිතේ කිව්ව හරි අපූරු නගරය. සමහරු ගෙන්දගම් පොළොව
කිව්වට මට නම් ඒක අමු කොළඹම තමයි හැමදාම. මට අනුව කොළඹ කියන්නේ කාඩ සහ පොෂ් දෙපැත්තෙම මිශ්‍රණයක්.
මට මතක් වෙනවා
කොළඹ ආපු පළවෙනි දවස. මතුගමින් පාන්දර කොළඹ බස් එකට නැග්ගෙ කොළඹ කැම්පස් එකේ ඉංග්‍රීසි
ඩිප්ලෝමා කෝස් එකේ ප්‍රවේශ විභාගය ලියන්න එන්න. ඒ වෙද්දි වයස විස්සක් වුණාට තනියෙං
පානදුරේට වත් ඇවිත් තිබ්බෙ නෑ. හොඳ වෙලාවට බස් එකේ ඉන්නවා පංතියේ යාළුවෙක්.
“ආ මචං ...
කොහේද යන්නේ?”
“කොළඹ යනව මචං”.
දැං නං කොළඹ නගරෙ කොටස් දා හතරින් එකින් එක කියන්න පුළුවන් වුණාට ඉස්සර අපි නුගේගොඩ
මහරගම පැත්තට ගියත් කියන්නෙ කොළඹ යනවා කියලා. හොඳ වෙලාවට යාළුවත් යන්නෙ මං යන
එග්සෑම් එකටමයි. බම්බලපිටියෙන් බහිමු කියල යාළුව මට මගදිම කිව්වා. අද නම් මතුගමින්
නැග්ග වෙලේ ඉඳල නින්ද ගියත් මුල් දවස් වල බහින තැන වරදියි කියල බයටම බස්වල නින්ද
යන්නෙ නෑ.
ඔන්න කොහොම
හරි දෙහිවල පාස් වුණා. වැල්ලවත්ත කියල තියෙන කඩවල බෝඩ් ටික පාස් වුණා. මෙන්න
බම්බලපිටිය කියල තියෙන බෝඩ් මතුවෙන්න ගත්තා. මං යාළුවව බැලුවෙත් නෑ. දඩිබිඩි ගාල
නැගිටලා බෙල් එක ගහල බැස්ස. බහිද්දි මං දැක්කා යාළුවා ඉස්සරහ ෆුට් බෝඩ් එකේ ඉඳං
ඔළුවෙ අත ගහගන්නවා. බැලින්නං මං බැහැල තියෙන්නෙ බම්බලපිටිය පටං ගන්න හරියෙ.
බහින්න ඕනෙ බම්බලපිටියෙ හංදියෙනෙ. ඉතිං මං තව හෝල්ට් දෙකක් හංදියට පයිං ගියා.
ඔය මං ගැන
කතාව විතරයි. හැබැයි ඔය වගේ කතන්දර තව ඕනෙ තරම් මේ රටේ හතර දිග් භාගෙම විසිරිලා
ඇති. පාරවල් වරද්ද වරද්ද කොළඹ ඇවිත් කොළඹ ගම කරගත්ත අය ඕනෙ තරම් ඉන්නවා. ඒ වගේ
මිත්‍රයෙක්ගෙ ඇත්ත කතාවක් නොකියම ඉන්න බෑ.
ඔන්න ඒ හාදයා
දවසක් ගාල්ලෙ ගමේ ඉඳල නුගේගොඩ ආවලු. කොළඹ පාරවල් නොදන්න නිසා සහ පටලැවෙන නිසා
පිටකොටුවටම ගිහිං 138 බස් එකේ නුගේගොඩ යනවලු. නුගේගොඩදි හාදයාට ඕනෙ වුනාලු
කොහුවලට යන්න. නුගේගොඩ ඉඳන් කොහුවලට මීටර් පන්සීයක් හයසීයක් වගේ දුරක් තිබුනට හාදය
ඒ බව දන්නෙ නෑනෙ. ඉතිං මනුස්සයා ආයෙත් 138 බස් එකක නැගල පිටකොටුවට ගිහිං
පිටකොටුවෙන් 120 බස් එකක නැගල ඇවිත් කොහුවල බැස්සලු.
තව එකක්
කියන්නම ඕනේ. අද නං කොට කලිසමයි ටී ෂර්ට් එකයි ඇඳං ගියත් අපි ඉස්සර කොළඹ යන්නෙ
හොඳට මැදපු කලිසං ෂර්ට් ඇඳල අත් දිගට දාලා යටකරල සපත්තුත් හොඳට පොලිෂ් කරගෙන. ඒ
තරම් කොළඹ අපිට හරි ලොකුයි.
කර්මාන්ත
අගනුවරට කේන්ද්‍ර වෙලා තියෙනකං ගමේ මිනිස්සු කොළඹ ඇවිත් පිරෙන එක නවත්තන්න බෑ.
උදාහරණයක් විදියට මං වැඩ කරන ඇඩ්වර්ටයිසිං ක්ෂේත්‍රය කොළඹටම විතරක් සීමා වෙලා
තියෙන දෙයක්. හැබැයි පාලකයින්ට පුළුවං මිනිස්සුන්ට තමංගෙ ගමේ ඉඳලම රස්සාවක් කරන්න
පුළුවං තත්ත්වයක් සංවර්ධනය කරන්න. ප්‍රාදේශීය ආයෝජන කර්මාන්ත පුර වගේ විසඳුම්
අත්හදා බලල තිබුණත් කොළඹට මිනිස්සු එන එක අඩු කරගැනීම ගැන ලොකු සාර්ථකත්වයක්
පෙන්නන්න අසමත් වෙලා තියෙනවා. ඒ නිසා හැමදාම ගමේ මිනිස්සු කොළඹට බඩගාන එක එන්න
එන්නම ඉහළ යනවා. රට වටෙන්ම මිනිස්සු දවස ගානෙ කොළඹට එනවා. කොළඹ ජනගහණය වගේ හතර පස්
ගුණයක් දවසකට එහෙම කොළඹට සේන්දු වෙනවා. ඒ එක්කම බත් ඔතන පොලිතීන් කොළ කඩදාසි කොළ
කොළඹ එනවා. ඒ මිනිස්සුන්ගෙ මල මූත්‍රවලින් කොළඹ මලපවාහන පද්ධතියෙ කාණු පිරෙනවා.
අන්තිමේ කුණු කඳු පිටින් කඩං වැටිල මිනිස්සු මැරෙනවා. එහෙම මැරුණෙ කොලොන්නාවෙ
මිනිස්සු. කොළොන්නාව කොළඹින් බැහැර සමීප නගරයක්. එහෙම මැරෙන්න ඇත්තෙ වැඩි හරියක්
ගමෙන් කොළඹ රස්සාවෙ ඇවිත් කාලෙකට ඉස්සර ඒ හරියෙ නැවතුණු මිනිස්සු වෙන්න ඇති.
කොළඹ නගරෙ
හංදියක වාහන හසුරුවන පොලිස් රාළහාමි කෙනෙක්ගෙන් කොළඹ පාරවල් අහල වැඩක් නෑ. ඇයි ඒ
රාළහාමිත් බොහෝ විට කොළඹට පිටිං ආපු සේවකයෙක් විතරයි. ජීප් එකෙන් ගෙනැත් බස්සලා
යනවා. ආයෙ ෂිෆ්‍ට් එක ඉවර වෙද්දි ජීප් එක ඇවිත් එයාලව පොලීසියට එක්ක යනවා. ඒක එහෙම
වෙද්දි කොළඹ හිඟන මුදලාලිලා තමංගෙ වාහන වලින් තමන්ගෙ ගෝල බාල හිඟන්නන්ව එළිය
වැටෙන්න කලිං හිඟන මර්මස්ථාන වල බස්සලා ඉර බැහැලත් පැය ගාණකට පස්සෙ ආයෙ පටවගෙන
යනවා.
හවස හතර
පහුවෙලා නුගේගොඩ යන්න බස් එකකට නැග්ගොත් නුගේගොඩට එනකල් පැය එකහමාරක් වගේ නිදාගන්න
පුළුවං සැපට. එච්චර රථ වාහන තදබදය. එහෙම වෙන්න මෙහෙම දේවල් බලපාන්න පුළුවන්.කොහොම
දේවල්ද? මිනිස්සු කොළඹට කේන්ද්‍ර වෙද්දි කොළඹ එයාලට ගෙවල් හදන්න ඉඩම් නෑ. දැං ඉඩම්
ඉතුරුවෙලා තියෙන්නෙ කොළඹින් බැහැර කොට්ටාව, හෝමාගම, කඩුවෙල, කඩවත වගේ පැතිවලට
වෙන්නයි. ඉතිං ඒ ප්‍රදේශ හරිම වේගයෙන් ජනාකීර්ණ වෙනවා. සතියෙ දවස්වල හවස් වෙද්දි
කොළඹට ආසන්න ඒ පැතිවලට යන්න ගත වෙන වෙලාවයි ගාල්ල මාතරට යන්න ගතවෙන වෙලාවෙයි ඒ
හැටි වෙනසක් නැති වෙන්න ප්‍රධානම හේතුවක් ඒක.
හොඳ විස්තරයක් වගේම ඔබගේ අදහස් අගෙයි. මා සිතන පරිදි නූතන තාක්ෂණයත් සමග ප්‍රාදේශීයව ග්‍රාම නිලධාරීගේ සිට දුරස්ථව බොහෝ වැඩ විමධ්‍යගත කරගැනීමෙන් විවිධ ලියකියවිලි වෙනුවෙන් කොළඹ පැමිණ රස්තියාදුවෙන පිරිස සෑහෙන අඩුකළ හැකියි.
ReplyDeleteඑමෙන්ම කොළඹ වාණිජ / නේවාසික/ කාර්මික/ වෙනත් ආදී වශයෙන් විවිධ කලාප වෙන් කිරීම මගින් සහ පර්චස් 5-10 කුඩා ඉඩම වල දෙමහල් නිවාස වෙනුවට තට්ටෞ නිවාස (අපාර්ට්මන්ට්ස් ) මගින් ද අධික භූමි හිඟය අවම කරගත හැකියි. මෙගාපොලිස් අමාත්‍යංශය මේ සමබන්ධව සැලකියයුතු සැලසුම් රැසක කරනවා නේද?
ස්තූතියි ඇනෝ ... ඉක්මන් විසඳුමක් නම් අත්‍යාවශ්‍යයි
Deleteමම උඹව පෞද්ගලිකව දන්න නිසා මම දන්නවා මේක ආරම්භයක් විතරයි කියලා. කොළඹ ගැන උඹේ පරිකල්පනය මීට වඩා ගොඩක් පුළුල් නිසා දෙවෙනි කොටස එනකල් ආසාවෙන් බලාගෙන ඉන්නවා. හැබැයි මේක මෙතනින් අතඇරලා දාන්නේ නැතුව ලියපන්...
ReplyDeleteකොළඹ .... ලියල ඉවර කරන්න පුළුවන් තැනක් නෙවෙයි
ReplyDeleteඅපිත් ඔහොම තමා ඉස්සර කොළඹ ගියේ. පිටකොටුවෙම අතරමං උනා කිවුවම තව මොන කතාද.
ReplyDeleteකොළඹ ආපු මුල් කාලේ කතා ගොඩයි
Delete