Thursday, April 30, 2015

අමුතුකම

කිසිවෙකුත් මගේ සිත නොකියවයි

ලෝකයට නොගැලපෙන 

විකාර ගති ඇති අමුතු වෙනස්කමක්

මා තුලින් දකින්නට උත්සාහ ගනිති


විවෘත හදවතක් සහිතව 

සංස්කෘතික සීමාවන්ගෙන් තොරව

ක්ෂිර පථයට විහිදුනු සිතකින්

මනසට මී බඳුන් වත් කිරීම ඔවුන්ට පවකි


දොර ජනෙල් වසාගෙන 

අඳුරේ අතපත ගාන ශරීර

උනුන් වින්දනය කරති

හිරු එළිය සඳ එළිය යට


සුළං වට දැවටි දැවටී

මල් වැස්සකත් තෙමි තෙමී

රමණයට ඇරයුම් කළ විට බියව දුවති


අමුත්තන් ගෙට එන විට 

වැලේ වනා ඇති යට ඇඳුම්

හනික ගෙට ගන්නා වංකයින්ට වඩා

නිරුවත කලාවක් කර ගත්

තපසුන් සොයමි

ජීවිතය භාවනාවක් කර ගත්

Sunday, April 26, 2015

මඩකළපුවෙන් ආවට


 





මඩකළපුවෙන් ආවට
මඩ ගාන්න එපා ජාතියට
පටවගෙන සුදු වෑන් එකේ මරල දැම්මට
ආදරේ මැරුණෙ නෑ තාම
නම ලියල හීරුවට බරක් නෑ
කැටපත් පවුරට

 
අප්පව මරපු කාශ්‍යප
බඹර විසේට රොන් ගන්න
නෙළුම් සුවඳ ලියන් එක්ක
පණ රැකගන්න හැංගුන සීගිරිය

අපි හිටියෙත් බයෙන් ගැහි ගැහී
කාශ්‍යපට වඩා ගොඩක්
බඹරු අහිංසකයි හත අටක් ඇන්නොත් මැරෙයි
බුලට් පියෑඹුවෙ අප්පව මරපු කාශ්‍යප වගෙයි

ලේ බිංදුවට වටිනාකමක් දුන්නු ඒ පොළොව
පිළී ගඳින් වෙන් කරා අපිව ඔහෙලව
ඉඳ හිටල මාළුවෙක් සිංදුවක් කිව්වට
අපි අප්පුඩි ගැහුවෙ බයට

අපි මඩකළපුවෙ දෙමළ
යාපනේ හදවත් උණු නෑ
අපේ කඳුළු ළඟ
හැබැයි උඹලට අපිත් දෙමළ

ආදරේ කරපු පපුවට
වෙඩි වැදිල ලේ පොඟල වැල්ලට
වැටිල හිටපු දුක ආවා මතකෙට
ඒකයි රිද්දෙව්වෙ කැටපත් පවුරට

ඉස්සරත් මේ පවුරෙ ලිව්වෙ
මං වගේ දුක දැණුනු උන් වෙන්නැති
ඒත් දැන් උන් කවියො
මම ත්‍රස්තවාදිනිය

නිමිත්ත - මඩකළපුවෙන් පැමිණි තරුණියක් කැටපත් පවුරේ ඇගේ පෙම්වතාගේ නම ලියයි. ඇය ඊට වරදකරුවී දෙවසරක් හිරේ යයි. ඇගේ පෙම්වතා සුදු වෑන් එකකින් පැහැරගෙන ගොස් පසුව මිනිය හමුවී තිබුනේ වසර ගණනකට පෙරදීය.......!


වෙඩිල්ලක්


කොළඹ අහස මට නුහුරුය. ඒ රෑටත් එළිය නිසා විය යුතුය. වාට්ටු කවුළුවෙන් මම ඔහේ බලාගෙන හිඳිමි. තරුවක් දකින්නට හිත ආසා කරන බව දැනේ. ඒත් පොළොවෙන් ඉහළට එසවුනු ගොඩනැගිලි ආලෝක ධාරා නිසා තරු හැංගී ගොස්ය. දවාලට නම් කුරුල්ලෙක් දෙනෙක් පියාඹනවා බලන්නට හැකිය. බොහෝ විට ඒ කාක්කන්ය. කොළඹින් හද්දා ඈත ඉපිද වෙල්ලමුල්ලි වෛක්කාල් හි වෙඩිකා ඇද වැටුනු මගේ ජීවිතය හරිම පුදුමයකි මට. මගේ ගම හීතලය. මධ්‍යම කඳුකරයේ සීතල කඳු වළල්ලක මැද පිහිටි ඒ ගමට සැතපුම් ගාණක් දුරින් බස් රථයක් නවත්තන්නේ දවසටම දෙපාරකි. තුවක්කුව අතට ගත් දා පටන් මා අනුයුක්ත කෙරුණේ ගිණි රස්නෙන් දැවෙන උතුරුකරයේ යුධ බිම් වලය. ඒ යුද්ධයේ අවසාන කාලයය. පණ නැති පාදය හා දෑත සමග අනුරාධපුර රෝහලෙන් කොළඹ මහ රෝහලට මාව මාරුකර එවා දින දෙකකින් ප්‍රභාකරන් මිය ගියේය. ඒත් ඒ වගක් මා දැනගත්තේ ඉන් මාසෙකුත් දවස් ගණනක් ගතවූ පසුය. එතෙක් මා අවසිහියෙන් සිට ඇති අතර යන්ත්‍රයක් මට ජීවය දී තිබේ.



අපට ජීවිතයේ එක් එක් කාලයන්හිදී යන්ත්‍රයන් විසින් ජීවය පිඹින බව මම දැන් විශ්වාස කරමි. ඇතැම් විට මිනිස් යන්ත්‍රද ඇතැම් විට මිනිසා විසින් නිපදවූ යන්ත්‍රද විය හැක. මගේ අම්මා සහ අප්පච්චි මට ජීවය පිඹින ලද අතර ඉන්පසු මා ජීවය ලද්දේ ඇයගෙන බව කිව යුතුමය. කොටි හමුදාවේ උණ්ඩයක්  මගේ තුණටිය සිදුරු කර මා අඩපණ කරන්නට පෙර මැලේරියා මදුරුවෙකුගේ දළයක් මා සිදුරු කර එලොවටම ගෙන ගොස් නැවත ගෙනැත් හැරලන ලදි. ඇය එකල්හි මට සුවිසල් ජීවයක් පිම්බාය. ගමේ පන්සලේ බෝධිය නහවමින් පූජා පැවැත්වූ ඇයගේ ආදරය සිරිමා බෝධියේ කොළ සෙළවෙන මිහිරි නාදය සේ මට දැණිනි. ඇගේ ආදරයේ සුවඳ ආඝ්‍රාණය කළ මැලේරියා මදුරු විෂ මා අතහැර ඉක්මනින්ම යන්න ගිය අතර යුද්ධයේ උග්‍රම කාලය වූ බැවින් මමද ඉක්මනින්ම උතුරු යුධ බිමට ගියෙමි.


තවත් පරක්කු නොකර අපි බඳිමු  ........  ඇය මට විටින් විට කියන්නට ගත්තේ මේ අතරය. අපේ අම්මා සමග ඇගේ මව කතාකරන විට අපිට තව වයස ඇති බව අපේ අම්මා කියූ බව දිනක් ඇය කීවාය. එතැන් පටන් ඇය හැසිරුණේ මගේ අම්මාගේ වෛරක්කාරියක් ලෙසිනි.


විසි අටක් කියන්නේ අඩු වයසක්ද? ඔයාගෙ අම්මට ඔයාව පොඩි උනාට ඔයා දැන් වයසයි ගොඩක්. ඇය නිතරම කියන්නට වූවාය. අම්මා එසේ කියුවේ කුමක් නිසාදැයි මම නොදනිමි. ඇය මට වඩා සත් වසරක් බාල නිසා එසේ කියූවා වන්නටත් පුළුවන. මට ඒ ගැන අම්මාගෙන් අසන්නට ගොස් ඇගේ හිත පාරන දෙයක් කියන්නත් බැරිය. දිනෙන් දින විවාහ වන වයස පසුකරමින් මගේ වියපත් වීම ඉවසන පෙම්වතියගේ සිත සුවපත් කිරීමද ඉතාමත් අසීරුය. එහෙත් ඇය බලාපොරොත්තු වන ආකාරයේ මංගල්ලයක් සඳහා අවැසි මුදල් හදල්ද මා ළඟ නොමැත. ණය වී මගුල් කා ළමයිනුත් උස් මහත් වන තුරු ණය ගෙවන්නටද මට නොහැක.


මම නිවාඩුවට ගෙදර ආ විට හිතේ සතුටින් සිටියේ දවසක් නැත්නම්  දෙකකි. ඇය විවාහය සඳහා දින නියම කරගැනීමට උත්සාහ ගැනීමත් ඒ සඳහා මා තවම සූදානම් නොවීමත් නිසා අපි අතර රණ්ඩු ඇති විය. ඇතැම් විට මම නිවාඩුව අවසන් වීමට පෙර නැවතත් පිටත්වී යන්නට පවා පුරුදු වී සිටියෙමි. යුද්ධය අවසාන අදියරේදී ගෙදර සහ පෙම්වතිය සමග තිබූ සන්නිවේදනය ඉතාම දුරස් විය. ඇය තවත් මා සමග ඇති කළකිරීමට ඉන් වර්ධනය වන්නට ඇතැයි සිතමි.


කොටි උණ්ඩය මා සොයා ආවේ මේ සියල්ල අතරය.  බෙල්ල ඒ මේ අත හරවන්න පුළුවන් වුවද වම් අත සහ පාදය සොලවන්නට නොහැකි අංශභාග රෝගියෙකුගේ තත්ත්වයට මම පත්ව සිටියෙමි. පුනරුත්ථාපන රෝහලෙන්ද එතරම් සුවයක් නොලද තැන සිංහල වෙදකම් සඳහා ගමට ගියෙමි. නැවත වරක් ඇය නිතරම දැකීමට ඒ නිසා මට හැකි විය. ඇය ඇගේ මව හෝ මල්ලි සමග නිතරම මා බලන්නට මගේ ගෙදරට ආවේ අපේ ගම්වල රකින සිරිත් විරිත්ද නොසලකා හරිමින් මා වෙනුවෙන් ඇති ප්‍රේමය නිසා බව මම දනිමි. ඇය එසේ ඇවිත් යන හැම විටකම මම කාටත් හොරා හඬමි. ඇයට මා ගැන මහත් දයානුකම්පාවක් ඇතිවි තිබෙනු විය යුතුය. එසේම ඇයගේ සිහින බොඳවී යාම ගැන ඇය කණගාටුවෙන් ඇති බවද මට දැනෙන්නට විය.


වෙද ගෙදර ගොස් තෙල් සාත්තු කරවාගෙන නැවත මැස්සක තබා ගෙන මාව ගෙදරට රැගෙන ඒම අපේ ගෙදරට පුරුද්දක් වන්නට වැඩි කලක් ගියේ නැත. ගමේ සියල්ලෝම රණ විරුවෙකු වෙනුවෙන් තමන්ට දිය හැකි උපරිම සත්කාරය ලබා දෙන්නට කැපවී සිටියහ. ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් බෝධි පූජා සංවිධානය විය. එහෙත් සතුටක සේයාවක් මා අසළක නොරැඳිනි. ඈ කුමක්දෝ දෙයක් සිත යට තෙරපගෙන සිටින බව මට දැනෙන්නට පටන් ගෙන තිබුනි.


මගේ සැකය සැකයක් නොවන තැනට පැමිණියේය. ඇය නැවත වරක් මා හා සමඟ රණ්ඩු කතා වලට මුල පිරුවාය. මගේ ඇඳ අසල පුටුවක වාඩි වන ඇය ඇගේ දුක මා සමග කියන්නට පටන් ගන්නා විට මට කළකිරීමක්ද කේන්තියක්ද මුසු හැඟීමක් පැමිණේ.


.... මම කියපු කාලෙ අපි කසාදයක් බැඳ ගත්තනම් අද මට ඔයා ළඟට වෙලා සාත්තු කරන්න තිබුනා. අද මට හිතෙන වෙලාවට ඔයා ළඟට එන්නවත් බෑ. අනික මෙහෙම එනකොට ගමේ උන් දාහක් කතා කියනවා....... ඇය කියවගෙන යයි.

.... ඔහොම කතාකරන්න එපා. මේව මම හිතල කරගත්තු දේවල් නෙවෙයි. මටත් ලස්සන මගුල් ගෙයන් කසාද ජීවිතයක් ගැන හීන තිබුනා ....... මම කියා ගෙන යමි.

...... මේවට වගකියන්න ඕනි ඔයාගෙ අම්මා. එයා තමයි මේක පරක්කු කරමු කිව්වෙ. දැන් හරිනෙ. අයියෝ මගේ ජීවිතේ.... .. ඇය විටෙක හිස බිත්තියේ ගසයි.

.... මම ඉන්න තත්ත්වෙ ගැන හිතන්න. මට කේන්ති ගන්න බෑ. එහෙම උනාම මට හරිම අපහසුවක් දැනෙන්නෙ..... මම කියමි එහෙත් ඇයට ගාණක් නැත.


කාගේ හෝ මගුල් ගෙදරක තැන්කියු කාඩ් එකක් දුටු විට ඇගේ මුහුණ මැලවී යනවා මම දකිමි. හිතවත් තැනෙක කාන්තාවක් හෝ ඇගේ යෙහෙළියක් ගර්භනී වී ඇති බව ඇසුණු විට ඇය මට දුරකථන ඇමතුමක් ගනී. මම පණ ඇති දකුණතින් මොබයිලය ගෙන ඇමතුමට පිළිතුරු දෙමි.

... අපිට ළමයි හදන්න බැරිවෙයිද? ...

... අපි සිංහල වෙදකම් කරල බලමු මැණිකෙ.. මේකෙන් ගුණයක් එයි දෙයියනේ කියල ......

..... ඔයාට දැන් වයස තිස් එකක්. අපි බැඳල බබෙක් හදද්දි ඔයාට තවත් වයසයි. බබා ලොකු වෙද්දි අපිට එයා එක්ක ඉන්න කාලයක් නැති වෙනවා. මේව ඔයාගේ අම්මලට තේරන් නැද්ද? ....... ඇය හැඬූ කඳුළින් කියව ගෙන යයි.


වරක් මගේ ඇඳ ළග සිට ඇය මෙසේ කියවමින් සිටින අතර කේන්තිය වාවා ගත නොහැකි මම ඇගේ කම්මුලට ගැසූවෙමි. ඇගේ ඇස් ලොකු විය. එවැන්නක් ඇය කිසි විටක බලාපොරොත්තු වූවක් නොවීය. ඇය මගේ කේන්තිය ඇවිස්සූ බව සැබෑය. එහෙත් ඇයට පහරදීම පිළිබඳව ඇගේ දෑසින් ගලන කඳුළු හමුවේ මම පශ්චාත්තාප වීමි. සියළු දුක් ඉවසමින් ඈ මා සමග සිටින්නීය. මා ඊට ගරු සරුවක් නොකරන්නේ යැයි මට හැඟෙන වාර අනන්තය. එහෙත් මා කුමක් කරන්නද? දැන් ඇයව කැන්දා එන්නට මගේ ගතට වෙරක් නැත.

අම්මා ගෙන් පළිගන්නා බව විටෙක ඇය කියන්නට වූවාය. ඒ කුමටදැයි මම ඇසීමි. ඇගේ විවාහය ඉක්මන් කරන්නට උවමනා නොකළ නිසා නංගීගේ මංගල්ලය ගැනීමට ඉඩ නොදිය යුතු බව ඇය කීවාය.


... මගේ පවට මගේ නංගි පළි නැහැනෙ... මම කීවෙමි.

..... මම අංශ භාගෙ ලෙඩෙක්ව භාර ගත්තෙ. මම කරන කැපවීම කවුරුවත් තේරුම් ගන්නැත්නම් අනික් අයත් මගුල් කන්න ඕනෙ නෑ .... මට වෙන අය මගුල් ගෙවල් ගන්නව දකිද්දි පුදුම කේන්තියක් එන්නෙ ........ ඇය බොහෝ විට මට කියයි. මමද උඩුබැලිව ඇගේ කතා අසා සිටිමි.

... මං ගැන දුක නැද්ද ... මම අසමි.

... කවුරුවත් මං ගැන දුක් වෙන් නෑනෙ .... ඇය කියයි. ඇයට මාවද පවුලේ අයවද ආත්මාර්ථකාමීන් ලෙස පෙනෙන්නට පටන් ගෙන තිබිණි. ඇගේ සිතුවිලි වෙනස් කළ යුතුම වුවද එය කරන ආකාරය මම නොදැන සිටියෙමි.


අපේ සම්බන්ධය ආරම්භ වූ මුල් කාලයේ මම කිසිසේත්ම යහපත් පෙම්වතෙක් නොවුනෙමි. යුද්ධයේ භීෂණය ගෙදර ආ විට ඇගෙන් පිටකරන්නටද ඇතැම් විට මම කටයුතු කළෙමි. ඇයට අනන්ත පහර දුන්නෙමි. ඇගේ වැරදි යැයි මට සිතෙන දේ ඇගේ ඥාතීන් සමග කීවෙමි. ඉන් ඇය නෑයින් අතර අපහසුවට පත්වූ අවස්ථාද තිබිණි. වැරදි හදාගෙන හොඳ මිනිසෙකු වන්නට පොරොන්දු වුවද විගස ඒ පොරොන්දු මගේ අතින් කැඩී ගියේය. දැන් ඇය මගෙන් පළිගන්නේ ඒවාටදැයි මට සිතේ.   


.. මට හිතට දුක ආවම ඔයාට බණින්න දෙන්න. ඒකෙන් මගේ දුක නිවෙනවා. හැබැයි මම ඔයාට ලෙඩා කියනවා. කොන්ද පණ නැති එකා කියනවා. ඔයා ඒ සේරම අහං ඉන්න ඕනි. ඔයා හැදිච්චි කෙනෙක් උන දවසට මම ආයෙත් අර ඉස්සර හිටපු අහිංසකී වෙන්නම් ....... දිනක් ඇය කීවාය.


මම පොරොන්දු වීමි. එහෙත් ඇයට හිතට දුකක් එන විට මට බනින්නට ගනිද්දී දවසක් ඉවසන මම දෙවෙනි දවසේදී ඇයට අසුවූ දෙයින් පහර දෙන්නට පටන් ගතිමි. මට මාවම පාලනය කර ගත නොහැකි විය.

... අංගුලිමාල ඇඟිලි කැපුවට බුදුහාමුදුරුවො අංගුලිමාලගෙ ඇඟිලි කපල නෙවෙයි නිවන් මග පෙන්නුවෙ. මගෙනුයි අපේ අයගෙනුයි වැරදි උනාට ඔය වගේ පළි ගන්න එපා.  ඔයාගෙ පළිගැනීමේ අවසානය මොකක්ද? මම ඇසීමි.

... මට හම්බෙච්ච දුක ඔයාලටත් දැනෙන්න ඕනෙ. මගේ ජීවිතේ පහුවෙනවා ඔයාලට ගාණක් නෑ. එදා මම කියපුදේ කරා නම් මෙහෙම වෙන්නෑ..... ඇය කියයි.

... ඔයාට මට යටත් වෙලා ඉන්න බැරිනම් ආයෙ අපි කවදාවත් කතා නොකර ඉමු....... දිනක් ඇය දුරකථන ඇමතුම විසන්ධි කළාය.


කෙනෙක් තමන්ට රිදවන විට ඒ කෙනාටත් රිදවනවාට වඩා ඒ කෙනා සිටින තත්ත්වය කුමක්දැයි අවබෝධ කරගැනීමට පුළුවන්නම් තමන් පරිණත පුද්ගලයෙකු වනු ඇති බව කොහෙන් හෝ අසා ඇති බව මට මතකය. මට අනුව මම ඇය තේරුම් ගතිමි. ඇයට මා වැනි අංශභාග රෝගියෙකු නිසා ඇයගේ සිහින වියැකී යනු ඇතැයි නියත බියක් හටගෙන තිබෙනු විය යුතුය. එක්කෝ කවුරුන් හෝ ඇගේ හිතට විස පොවනු විය යුතුය. මගෙන් විය යුතු යුතුකම් කිසිවක්ම ඇයට දැන් නොලැබේ. ඇයට ඇත්තේ අන් අය සතුටින් සිටිනු බලා සුසුම්ලෑම පමණි. මටද මගේ ශරීරය වෙද්දුන්ට භාර දී උඩ බලා සිටිනවාට වැඩි දෙයක් කරන්නට හැකියාවක් නැත.



සිංහල වෙදකමින්ද ඵලක් නොවුනු තැන වෙනත් බටහිර ස්නායු වෛද්‍යවරයෙකු සොයා මහරෝහලට පැමිණියෙමි. සැත්කමක් කළ යුතුයැයි ඔහු නිර්දේශ කළේය. සැත්කම අවසානය. දැන් මා ගෙදර යා යුතුය. ඇගේ සුවඳ හැමතැනම මුසුවුනු ඒ ගෙදරට මම නැවත යන්නේ කෙසේද අහසේ ඉගිල්ලෙන නමක් නොදන්නා කුරුල්ලෙකු දෙස වාට්ටුවේ කවුළුවෙන් බලමින් මම සිතන්නට පටන් ගතිමි. 

අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි





Wednesday, April 22, 2015

කාලයට මං පරාදයි ..............!


හීන නං හුඟයි

හීන හරි බරයි
කාලයට මං බයයි
හීන පරදං කාලෙ ඉගිලෙයි

දුක නොපෙන්නා ඈ හිනාවෙයි
හිනා පෙන්නා ඈ හඬයි
නොගලන කඳුළු ඇවිලෙයි
ඇවිලි ඇවිලී දියවෙයි

ගෙනැල්ලා හැමදේම
තියා මගෙ පා ගාව
ලෝකයම මා කෙරුව
ඇගේ ලෝකය අද කොහිද

හරි බරයි දම්වැල
අපේ හිත් ගැටගැහුව
ලිහාගෙන කොහෙ යම්ද
අඩපණයි හිත හොඳටෝම

කෙනෙක් මත වාරු වී
කොතෙක් කල් ඉන්නද
පිපී හිනැහෙන අතර වෙන හැම
පරවෙන්නෙ පෙති අපේ විතරද

සමාවෙනවද මට 
කාලයට පරදිනවට
හීන පෙන්නනවට
ජීවිතේ රාත්‍රියට එළිවෙන්න නොදෙනවට


අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි 





Wednesday, April 15, 2015

හිත හිතන හැටි



‘බායි ගයිස්’

කියාගෙන මනිල්කා ඔෆිස් එකේ දොර ඇරගෙන එළියට ගියා. කතා දෙකක් නෑ එයා තමයි ලංකාවේ ඇඞ්වර්ටයිසින් ෆීල්ඞ් එකේ ලස්සනම හිනාවෙ අයිතිකාරි. හිනාවක් නැති වෙලාවක් නැති මූණක් තියෙන මනිල්කා වගේ බොස් කෙනෙක් යටතේ වැඩ කරන එකෙත් අමුතුම මොකක්දෝ එකක් තියෙනවා. ඔෆිස් එක ඇතුලෙ පාවෙන මනිල්කගෙ සෙන්ට් සුවඳත් නාස් කුහර අස්සෙන් ඇතුල් වෙන අස්සෙ මම වෙලාව බැලූව. හයහමාරයි. බහුජාතික සමාගම් ගානක් වෙනුවෙන් දිනපතා ඇඞ්වර්ටයිසින් අදහස් පොම්ප කරන ඔළුව අද ටිකක් හෑල්ලූයි. අද දවසෙම ඔළුව  වැඩ කරේ කිචීට උපන්දිනේට අරන් දෙන්නෙ මොකක්ද කියන එකයි. කිචී කියන්නෙ මගේ කිචීට. ඊට වැඩිය විස්තර කරන්න මට තේරෙන්නෙ නෑ. එයාව සම්පූර්ණයෙන්ම නිර්වචනය කරගත්තු දාට මට තවදුරටත් එයාගෙ තේරුම් ගන්න දෙයක් නැති වෙන නිසා මම එයාව කවදාවත් නිර්වචනය කරන් නෑ. මට  ඕනෙ හැමදාම ඒ ගැඹුරු පණ්ඩිතීගෙ ජීවිත පාඩම තේරුම් ගන්න. 


ඔෆිස් එකෙන් එළියට බැහැල බානස් ප්ලේස් එක දිගේ මම ටවුන් හෝල් එක පැත්තට ඇවිදන් එන්න ගත්ත. පාර දෙපැත්තෙ තාප්ප වලින් වට වෙලා ලංකාවෙ ලොකුම සල්ලි කාරයින්ගෙ මන්දිර දකිද්දි සල්ලි හොයන්න තවත් පෙරේතකම ඇති වෙනවා. ඔෆිස් එකෙන් පිට වෙන ඔෆිස්වල වැඩත් සමහර වෙලාවට අපිට සෙට් වෙනවා. ඒවට අපේ ෆීල්ඞ් එකේ කියන්නෙ වහලවල් ගහනව කියලා. පඩියත් ඉවර වේගෙන යන අතරෙ හොඳ වහලක්වත් සෙට් උනා නම් කියල මට හිතුනා. ඔයා සල්ලි නාස්ති කරනවා වැඩියි. වෙනම බෑන්ක් එකවුන්ට් එකක් හදල ඒකට හැම මාසෙම ගාණක් දාන්න කියල කිචී ළඟදිත් කිව්වා. 


බලූ තඩියෙක්ව දම් වැලකින් බැඳ ගෙන කඳ කලවෙ මුදුන් හරියට දිග කොට කලිසමක් ඇඳ ගත්තු ගෑනු කෙනෙක් ගේට්ටුවකින් එළියට ආවා. එයා බල්ලත් එක්ක හැන්දෑවට ඇවිදින්න යනව ඇති. බල්ලට පුදුම හතියක් තියෙන්නෙ. දහම් කියන්නෙ ඔෆිස් ජීවිතේ මට මුණගැහුණු අපූරුම යාළුවා. ඌත් මං වගේම මේ සිංහල, දෙමල මුස්ලිම් අපි හැමෝගෙම රටයි කියල හිතන ජාතියෙ එකෙක්. අද සිකුරාදා නිසා අපි දවල්ට කෑවෙ දවටගහ පල්ලියට අල්ලපු මුස්ලිම් හෝටලෙන්. සිකුරාදා පල්ලි එන මුස්ලිම් මිනිස්සුන්ට දවල්ට කන්න මාර රසක් තියෙන දුංතෙල් බතක් හදනවා ඒ හෝටලේ. අඹ හොදි වෑංජනේකුත් එක්ක කන්න කන්න ආස හිතෙන කොළඹදි කාපු රසම බත් එක ඒක තමයි. තෙල් ගතිය වැඩි නිසා කාල ආපු වෙලේ ඉඳං උදරයට නං එච්චර සෞම්‍ය නෑ. උදරය මතක් උනේ අර බල්ලා එක්ක ගිය නෝනගෙ ටී ෂර්ට් එක ඇතුලෙ දඟලන බඩ දැක්කමයි. 


තව ටිකක් ඉස්සරහට ඇවිදන් එද්දි වයසක ජෝඩුවක් ඇවිද ගෙන එනවා ව්‍යායාමෙට. පාස් වෙන කොටයි මතක් උනේ ඒ පිරිමි කෙනා ලංකාවේ ප‍්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක හිටපු සභාපති. මිනිහ වැඩකරපු කාලෙ පිට පිටම අවුරුදු ගාණක් ඒ බැංකුව ලංකාවෙ හොඳම බැංකුව හැටියට සම්මාන ගැහුව. ගුණදාස අමරසේකර නම් කියන්නෙ සම්මාන කියන්නෙ අවමානලූ. ඒ හින්ද එයා සම්මාන ගන්නෙ නෑලූ. අර මාව පහුකරන් ගිය බැංකු සභාපති ගැන කියවපු ආටිකල් එකක් ඔලූවට ගලන් එන්න ගත්තා. මිනිහා ඉපදිලා තියෙන්නෙ දකුණෙ. අමරසේකරත් දකුණෙ. වමෙන් ගියත් දකුණෙ කොල්ලෝ කිව්වට දකුණෙ හැමෝම දකුණෙන් යන්නෙ නෑ. මම වමේද දකුණෙද කියන්න මං වත් දන්නෑ. 


කිචීට මොනවද ගන්නෙ. එකක්වත් ඔලූවට එන්නෙ නෑනෙ. බෝඩිමට ගිහිං ටිකක් කල්පනා කරන්න  ඕනෙ. එතකොට එයි අයිඩියා එකක්. ඔටාරා ඔඩෙල් විකුණපු නිසා එහෙ යන්න හිතෙන් නෑ. මටනෙ යකෝ අමාරුව තියෙන්නෙ බලං යද්දි අනුන්ගෙ බිස්නස් විකුණපු එක ගැන. 


උපන් දිනේට කිචීට  ඕනෙ කළුතර බෝධි යන්නලූ. මං කිව්වා අපි යාළුවො කට්ටියටත් කියලා පොඩි පාටියක් දාමු කේක් එකක් කපල කියල. ඒවා බොරු සෝබන අපි පංසල් යමු එයා කිව්වා. හැබැයි මං කේක් එකක් හොරෙන් ගෙනැත් එයාව පුදුම කරවනවා. ඊට පස්සෙ එයාට කියලා ඒක කපලා මටත් කෑල්ලක් කවා ගෙන අයිසිං ටික එයාගෙ මූණෙ ගාලා ෆොටෝ එකක් ගන්නවා. එයා ඒ වැඬේට නං හරි කැමති වෙයි. දවසක් මං අයිස් එකක් මූණෙ ගෑවම ඒක දිය වෙනකං කණ්නාඩියෙන් බල බල ආවා හිනා වෙවී. ඊට පස්සෙ බොරු තරහක් මවාගෙන මට ටිකක් බනියි. ඒ තරහ මූණ බලන්න මං ආසයි. ඔව් ඒ නිසා ඒ වැඬේ කරන්නම  ඕනෙ.

Sunday, April 12, 2015

ගුහාවෙන් එළියට


පුදුම පාලුවක් රෑ වෙලත් නෑ. කොක්කු රෑණක් මට ඉහළින් පියෑඹුවා.රාස්සිගේ අව්වට උන්ව දිළිසෙනවා. මළානික හුළඟ හිත හෝන්දු මාන්දු කරෝනවා.

පොත කියවන්නවත් හිතෙන්නෑ. කවියක් ලියන්න ඕනෙ මං බංකුවෙන් නැගිට්ටා. වේලුණ අඹ කොළයක් බංකුව උඩට පාවෙලා ආවා.

ඔය ඉපදෙන්නෙ කවි.

පාවී ආ
වියළි අඹ කොළය
හිඳගත්තේය
සිමෙන්ති බංකුව මත
පුරවන්න
මා නැගිටගත් පුරප්පාඩුව...........

වචන ටික සංස්කරණය නොකරම මං පුටුවේ ඉඳගත්තා. ඒත් කෝ අර වචන .....? වචන ටික හැංගිලා. හිත පැටලෙනව වගේ මට තේරුණා.

''දාර්ශනික කවියා කෝ උඹේ කවිකම්?''
කව්දෝ අහනව වගේ දැනුනා.

''නොලියූ කවිය වෙන්න ඇති''
ලියූ කවිය සුන්දරයි නොලී කවිය ඊටත් වඩා සුන්දරයි කියනවනේ.

මං ලෝකෙන්ම හැංගෙන්න හිතාගෙන මේ කන්දට ඇවිත් හතර මාසෙකටත් වැඩියි. ටෙලිෆෝන් නෑ ලයිට් නෑ හරිම නිශ්ශබ්දයි. මං දන්නවා විශ්ව ගම්මානය ඇතුලෙ මට වනචාරී හුදෙකලා වීරයෙක් වෙන්න බෑ.

අප්පච්චිගේ කන්දෙ වත්තේ පාලු පොඩි ගෙයි මං අලස සුවය විඳිනවද? භාවනා කරනවද? අතීතයත් එක්ක පොර බදිනවද?
මටම මාවම තේරුම් ගන්න බැරිවෙලා.

හුදෙකලාව හොයාගෙන මේ දූපතේ කීතැනකට නම් මං ගියාද?
තිසා වැව් බැම්මේ සියඹලා ගහක් යටට වෙලා පොසොන් හඳ දිහා බලං හිටියා මහ රෑක. අන්තිමේ පොලිස් ජීප් එකක් මං ගාව නවත්තලා ප්‍රශ්න කරන කල්ම මං දන්නෙ නෑ.

''පොසොන් වලට අනුරාධපුරේ ඇඟිල්ලක් ගහන්න බෑ සර් ඒ තරමට සෙනඟ''
තිසාවැව රෙස්ට් හවුස් එකේ රූම් බෝයි කිව්වා.
මම වැරදි වෙලාවල වැරදි ප්‍රශ්න වලට වැරදි උත්තරමයි හොයල තියෙන්නෙ හැම වෙලාවකම. සිද්ධඋනේ මං තැලෙන එක විතරයි.

වැව රව්මේ වළාකුලු බැම්ම අයිනේ කී රවුමක් නං ඔහේ ඇවිදින්න ඇද්ද නුවරට වෙලා හිටිය සුමාන දෙකට. හැබැයි මට මම හොයපු පාලුව තනිකම හම්බ උනේ නෑ.

දැන්නං පාලුව මාව පොරෝගෙන.

පන්හිඳ තුඩග රැඳි නිසඳැසී
වදන් පැටලී තවම නොලී
ලියූ සහසක් කවි පරදී
සුන්දරයි කව තවම නොලී...........

නෑදෑයො යාලුවො මිත්‍රයෝ දකින්නැතුව ඉන්න තරං දැං හිත ගල් වෙලා.ඒත් සමහර වෙලාවට මේක පිස්සුවක් කියලත් හිතෙනවා.

බැමි‚තියා සායකට අහුවෙලා ඉරි තළල තිබුන හිතට එක කාලයක හීන් පි‚ වැස්සක් වැස්සා. නියෙඟට පොද වැස්සත් රත්තරං කියනවනෙ. ඔන්න ඔහොම කාලයක් සරල රේඛීයව ගමනේ යෙදිලා හිටි ගමන්ම විරහව වාන් දමන්න ගත්තහම තමයි මං දන්නේ ලෝකය කැරකෙනවා කියලා.

ලස්සනම ලස්සන හීනයක් එකපාරටම බිඳිල ගියා මම ගැස්සිලා ඇහැරුණා.

කාලයක් බොහෝම සමීප වෙලා තිබුන වීදිවල මම තනියෙන්ම ඇවිද්දා. ඉස්සර පුරුදු ගතිය අහලකවත් තිබුනෙ නෑ. සයිවර් කඩේ කොනේම මේසෙ මෙහා පුටුවෙ වාඩිවෙලා බීපු ප්ලේන්ටියේවත් කටට හුරු රසේ දැනුනෙ නෑ.

ජීවිතේ මහගිරිදඹේ
තුන්සරණේ කියූ කිංකිණියේ
මන්දස්මිතියේ හිරිගඬු නැංවූ
සීත ගඟුලියේ..............

පුරා හඳ එක පාරටම වළාකුළකට මුවා උනහම තරු නැති අහස අඳුරුයි. මට කණ්නාඩිය ඉස්සරහදීවත් මාව පෙනුනෙ නෑ.

''සරළ වෙන්න එපා සංකීර්ණ වෙන්න''
පණ්ඩිත වගන්ති දිග ඇරපු මම අද අන්ත අසරණ විදියටම අතීශයින්ම සරළ වෙලා.

ජීවිතේට මුක්කු ගහන්න කරු තියාගන්න හැරමිටියක් නැතුව බැරි මිනිස්සුන්ව කාලයක් මට පෙනුනෙ පුස්සො විදියට. පස්සෙ කාලෙක ජීවිතේට අත්වාරු සත්කාරයක් ලබපු මම අද සැරයටිය අතින් මිදීමේ විපාකය විඳෝනවා.

ජීවිතේ වාරුව ගං දියේ ගහගෙන ගියා. උඩුගං බලා යන්න හැදුවට මං අසාර්ථකයි කියල තේරුම් ගන්නවද නැද්ද කියලයි දැං හිත හිත ඉන්නේ.

වැලි අහුරු පුපුරු ගහන
වාලූකා කතරක
මිරිඟු වෑ කණ්ඩියක හිඳිමි
රැළි නඟන අපූරුව බල බල.................

වාලූකාවක වැවක් තියෙනවා අපි හිතමු සහරාව කියලා. මං ඒ වෑ කණ්ඩියේ ඉඳගෙන වැවේ ලස්සන බලනවා. හැබැයි මිරිඟුවක්.ලස්සනට රැළි නැගුනට බිඳුනට මිරිඟුවක්. යථාර්තයත් මිරිඟුවත් අතරේ වෙනස නොතේරෙන උන් අතරේ මම මනෝ මාළිගාවක හිර වෙලා.

වැට මායිං වලට ගහමරාගන්න තරං අසංවේදී හිත්වලට ධර්මය බර වැඩිද මන්දා. රටවල් ඛෙදා ගන්න යුද්ධ කරන මළමිනී ගොඩගහන මේ මනුස්ස රංචුව හෙට අනිද්දා වෙද්දී බත් ඇටේටත් මරා ගනීවි. ඉතිං මට තේරෙනවා මගේ ප්‍රශ්න හරිම සරළයි කියල. ඒත් ඒවා මත්තෙම මේ තරම්ම නැහෙන එකමයි මටත් තේරුම් ගන්න බැරි.

මොන තරං බරපතල වෙන්න හැදුවත් හැම පංචස්කන්ධයක් ඇතුලෙම බොළඳයෙක් ඉන්නවා. මට ඒක හොඳටම දැනෙනවා.

මල සිඹ සුවඳ ගෙන
රළ මාළ නංවගෙන
ගෙලවට හාදු තබමින
නල ඇදෙයි හිත කිති කවමින

බාඳුරා ගොටුව ඇතුලට අමෘත්තය හොයං යන කෘමියො වැටුන කටින් ගොඩ එන්න බැරුව මියෑදෙනවා. මම මාරයාට පරාජය නොවුනාට බීපු අමෘත්තය පත්තියං නොවීමේ විපාකය විඳවනවා. අත්තිවාරමක් නැතුව බිත්තියකට පවතින්න බෑ. අතීතයක් නැතුව මිනිහෙකුට වර්තමානයක්වත් අනාගතයක්වත් නෑ. කොච්චර අමතක කරන්න හැදුවත් මනුස්සයෙකුට තමංගෙ අතීතෙන් ගැලවෙන්න බෑ. හිතක සියුම්ම තැන් ස්පර්ෂ කරපු මතකයන් අපේ පස්සෙන් එනවා.

රන්වලාගල මුදුනේ
සුදු රෝස මල පිපුනේ
රොන් අමා විල සිඳුනේ
බාඳුරා යාය හිනැහුනේ................

ආයෙමත් සමාජගත වෙන්න කාලය ඇවිත් කියල මට හිතෙනවා. කී දෙනෙක් මාව දැකල පුදුම වෙයිද? කී දෙනෙක් මට හිනාවෙයිද? ඕවා ප්‍රශ්න කරගෙන බෑ.මම බැට කෑවේ සමාජගත ජීවිතයෙන්මයි. උත්තරෙත් එතනින්ම හොයා ගන්න ඕනෙ.

ඇය යන්නම ගිහින්. මගේ ලතැවිල්ලේ තේරුමක් නෑ. නොරිදෙන්න බැමි බැඳල තිබුන මිල කරන්න බැරි තැම් වටින රත්තරං හුය ගැලවිලා පාවෙලා ගියා. අත පොවන්න තියා හිතන්නවත් බැරි මානෙකට. ඒ හිනාවට අනන්‍යතාවයක් තිබුනා. ඒ තමයිි ලස්සනම හිනාව මට අනුව මම දැකපු.

ඉතිං ඒ හිනාවේ සින්නක්කර උරුමක්කාරයාව මම මගේ පරම වෛරක්කාරයා කරල සලකන්න ඕනෙද? ඇයි මං කාටවත් වෛර කරන්නේ. ඇයි මං ලෝකෙන්ම හැංගෙන්නේ.

ලෝකය මල් යායක් මං අහිංසකම සමණළයෙක් කියල හිතන්න මට බැරිද? හුළං පාරට ජනෙල් පියන් දෙක එකට ගැටුනා.

දවස දවස ඉරගල වැටුනා
ආකාසයේ සිත්තම් මැවුනා
සීරුවෙන් හොරෙන් තරු මල් ගැන්නා
ජනෙල් පියන් වැසුන සරින් මගෙ සිහිනය බිඳුනා

මම ඇඳුම් බෑග් එක අතට අරං දූවිලි පිහදැම්මා.


අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි

Wednesday, April 8, 2015

හතර වටින් හරි ඇරයුම්


ඇඳ වියනෙ පිපුණු
සිල් බිඳින මල් සුවඳ
උඩුබැලි නාස් පුඩු රිද්දයි
හතළිස් ඇඳිරියත් ළඟයි


වැස්ස එක්ක අාපු ලොකු බිංදු
වැටෙන සද්දෙට වහලෙට
හිතට හිරි පොද වැදෙයි
හිමි එක්ක දඟ කරපු පිට්ටනියෙ
ඇඳ කකුල් වාත වේදනාවෙන් අඬයි


අප්ප නැති කෙල්ලගෙත්
පපුව ටික ටික මෝරයි
හිමි අහිමි හංස තුඩු ඉස්සි ඉස්සී
දුක කියයි


මස් කඳට වහ වැටුනු උපාසක හිවල්ලුන්
අන්ධකාරෙට ආවඩයි
කූරු නැති ජනේලෙන් හෙවණැලි පෙනෙයි
මසට යටවුනු හිතට ලොබ බැඳි
හිතක් ආවොත් මසත් දන් දෙයි