Tuesday, August 23, 2016

නාහෙට නාහන සරුංගලේ




මටත් ඉන්නව සරුංගලයක්
යන්නෙ කොහිදැයි දන්නැතී
කියන දේකුත් අහන්නත් බැරි
සුළි සුළං මඳ සුළං මැද අතරමං වෙවි

ඇඬුවොත් දියවෙයි හිතන්නත් බැරි
කඳුළු ඔසුවකි හිතාගෙන ඇති
මටත් ඉන්නව සරුංගලයක්
වලිග අග මස්තිෂ්ක ඇබිත්තක් ඇති

නූල වී මම වෙර බදමි
කඩාගෙන යන්නට නොදෙමි
අදින අත් හරි ගොරහැඩි
උඩ යනව නං හරි වැඩි

උඩු හුළඟ දැන් ළඟ ඇතී
මම පොළොවටම එනු ඇතී
උඹ නොපෙනීම යනු ඇතී
සව් කොළ සුවඳ මිහිරැතී

ජීවිතෙත් රැල්ලකී
කඳුත් පල්ලම් බොහොමෙකී
සරුංගල හිතැත්තී
පොළොව රිදුනත් සැප ඇතී

මටත් තියෙනව සරුංගලයක්
හිතත් සුළඟට ගසාගෙන ගිය
හුඟක් කිව්වත් අහන්නෙත් නැති
නූල් හදවත දකින්නෙත් නැති

හුළං යනු හදවත් නැතිකමක් වෙන්නැති
සරුංගල ඒ වගක් දන්නැති
උඩු හුළඟ දැන් ළඟ ඇතී
එක කරණමට ඉරණම ගත හැකී


උඹ වරෙං පහළට
වෙරත් නැහැ මට

1 comment:

  1. මේ සරුංගල් අවධිය වගේ නේද. සරුංගල් ගැනමයි කියවෙන්නේ. හොඳ කවි පෙළක්.

    ReplyDelete