Wednesday, April 15, 2015
හිත හිතන හැටි
‘බායි ගයිස්’
කියාගෙන මනිල්කා ඔෆිස් එකේ දොර ඇරගෙන එළියට ගියා. කතා දෙකක් නෑ එයා තමයි ලංකාවේ ඇඞ්වර්ටයිසින් ෆීල්ඞ් එකේ ලස්සනම හිනාවෙ අයිතිකාරි. හිනාවක් නැති වෙලාවක් නැති මූණක් තියෙන මනිල්කා වගේ බොස් කෙනෙක් යටතේ වැඩ කරන එකෙත් අමුතුම මොකක්දෝ එකක් තියෙනවා. ඔෆිස් එක ඇතුලෙ පාවෙන මනිල්කගෙ සෙන්ට් සුවඳත් නාස් කුහර අස්සෙන් ඇතුල් වෙන අස්සෙ මම වෙලාව බැලූව. හයහමාරයි. බහුජාතික සමාගම් ගානක් වෙනුවෙන් දිනපතා ඇඞ්වර්ටයිසින් අදහස් පොම්ප කරන ඔළුව අද ටිකක් හෑල්ලූයි. අද දවසෙම ඔළුව වැඩ කරේ කිචීට උපන්දිනේට අරන් දෙන්නෙ මොකක්ද කියන එකයි. කිචී කියන්නෙ මගේ කිචීට. ඊට වැඩිය විස්තර කරන්න මට තේරෙන්නෙ නෑ. එයාව සම්පූර්ණයෙන්ම නිර්වචනය කරගත්තු දාට මට තවදුරටත් එයාගෙ තේරුම් ගන්න දෙයක් නැති වෙන නිසා මම එයාව කවදාවත් නිර්වචනය කරන් නෑ. මට ඕනෙ හැමදාම ඒ ගැඹුරු පණ්ඩිතීගෙ ජීවිත පාඩම තේරුම් ගන්න.
ඔෆිස් එකෙන් එළියට බැහැල බානස් ප්ලේස් එක දිගේ මම ටවුන් හෝල් එක පැත්තට ඇවිදන් එන්න ගත්ත. පාර දෙපැත්තෙ තාප්ප වලින් වට වෙලා ලංකාවෙ ලොකුම සල්ලි කාරයින්ගෙ මන්දිර දකිද්දි සල්ලි හොයන්න තවත් පෙරේතකම ඇති වෙනවා. ඔෆිස් එකෙන් පිට වෙන ඔෆිස්වල වැඩත් සමහර වෙලාවට අපිට සෙට් වෙනවා. ඒවට අපේ ෆීල්ඞ් එකේ කියන්නෙ වහලවල් ගහනව කියලා. පඩියත් ඉවර වේගෙන යන අතරෙ හොඳ වහලක්වත් සෙට් උනා නම් කියල මට හිතුනා. ඔයා සල්ලි නාස්ති කරනවා වැඩියි. වෙනම බෑන්ක් එකවුන්ට් එකක් හදල ඒකට හැම මාසෙම ගාණක් දාන්න කියල කිචී ළඟදිත් කිව්වා.
බලූ තඩියෙක්ව දම් වැලකින් බැඳ ගෙන කඳ කලවෙ මුදුන් හරියට දිග කොට කලිසමක් ඇඳ ගත්තු ගෑනු කෙනෙක් ගේට්ටුවකින් එළියට ආවා. එයා බල්ලත් එක්ක හැන්දෑවට ඇවිදින්න යනව ඇති. බල්ලට පුදුම හතියක් තියෙන්නෙ. දහම් කියන්නෙ ඔෆිස් ජීවිතේ මට මුණගැහුණු අපූරුම යාළුවා. ඌත් මං වගේම මේ සිංහල, දෙමල මුස්ලිම් අපි හැමෝගෙම රටයි කියල හිතන ජාතියෙ එකෙක්. අද සිකුරාදා නිසා අපි දවල්ට කෑවෙ දවටගහ පල්ලියට අල්ලපු මුස්ලිම් හෝටලෙන්. සිකුරාදා පල්ලි එන මුස්ලිම් මිනිස්සුන්ට දවල්ට කන්න මාර රසක් තියෙන දුංතෙල් බතක් හදනවා ඒ හෝටලේ. අඹ හොදි වෑංජනේකුත් එක්ක කන්න කන්න ආස හිතෙන කොළඹදි කාපු රසම බත් එක ඒක තමයි. තෙල් ගතිය වැඩි නිසා කාල ආපු වෙලේ ඉඳං උදරයට නං එච්චර සෞම්‍ය නෑ. උදරය මතක් උනේ අර බල්ලා එක්ක ගිය නෝනගෙ ටී ෂර්ට් එක ඇතුලෙ දඟලන බඩ දැක්කමයි.
තව ටිකක් ඉස්සරහට ඇවිදන් එද්දි වයසක ජෝඩුවක් ඇවිද ගෙන එනවා ව්‍යායාමෙට. පාස් වෙන කොටයි මතක් උනේ ඒ පිරිමි කෙනා ලංකාවේ ප‍්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක හිටපු සභාපති. මිනිහ වැඩකරපු කාලෙ පිට පිටම අවුරුදු ගාණක් ඒ බැංකුව ලංකාවෙ හොඳම බැංකුව හැටියට සම්මාන ගැහුව. ගුණදාස අමරසේකර නම් කියන්නෙ සම්මාන කියන්නෙ අවමානලූ. ඒ හින්ද එයා සම්මාන ගන්නෙ නෑලූ. අර මාව පහුකරන් ගිය බැංකු සභාපති ගැන කියවපු ආටිකල් එකක් ඔලූවට ගලන් එන්න ගත්තා. මිනිහා ඉපදිලා තියෙන්නෙ දකුණෙ. අමරසේකරත් දකුණෙ. වමෙන් ගියත් දකුණෙ කොල්ලෝ කිව්වට දකුණෙ හැමෝම දකුණෙන් යන්නෙ නෑ. මම වමේද දකුණෙද කියන්න මං වත් දන්නෑ.
කිචීට මොනවද ගන්නෙ. එකක්වත් ඔලූවට එන්නෙ නෑනෙ. බෝඩිමට ගිහිං ටිකක් කල්පනා කරන්න ඕනෙ. එතකොට එයි අයිඩියා එකක්. ඔටාරා ඔඩෙල් විකුණපු නිසා එහෙ යන්න හිතෙන් නෑ. මටනෙ යකෝ අමාරුව තියෙන්නෙ බලං යද්දි අනුන්ගෙ බිස්නස් විකුණපු එක ගැන.
උපන් දිනේට කිචීට ඕනෙ කළුතර බෝධි යන්නලූ. මං කිව්වා අපි යාළුවො කට්ටියටත් කියලා පොඩි පාටියක් දාමු කේක් එකක් කපල කියල. ඒවා බොරු සෝබන අපි පංසල් යමු එයා කිව්වා. හැබැයි මං කේක් එකක් හොරෙන් ගෙනැත් එයාව පුදුම කරවනවා. ඊට පස්සෙ එයාට කියලා ඒක කපලා මටත් කෑල්ලක් කවා ගෙන අයිසිං ටික එයාගෙ මූණෙ ගාලා ෆොටෝ එකක් ගන්නවා. එයා ඒ වැඬේට නං හරි කැමති වෙයි. දවසක් මං අයිස් එකක් මූණෙ ගෑවම ඒක දිය වෙනකං කණ්නාඩියෙන් බල බල ආවා හිනා වෙවී. ඊට පස්සෙ බොරු තරහක් මවාගෙන මට ටිකක් බනියි. ඒ තරහ මූණ බලන්න මං ආසයි. ඔව් ඒ නිසා ඒ වැඬේ කරන්නම ඕනෙ.
Labels:
කතා
Subscribe to:
Post Comments (Atom)
කිචී කිව්වාම මං හිතුවේ 'කිචි' කැවෙන වගේ අදහසක් කියලයි.
ReplyDeleteඑල
ReplyDelete