Sunday, April 26, 2015

වෙඩිල්ලක්


කොළඹ අහස මට නුහුරුය. ඒ රෑටත් එළිය නිසා විය යුතුය. වාට්ටු කවුළුවෙන් මම ඔහේ බලාගෙන හිඳිමි. තරුවක් දකින්නට හිත ආසා කරන බව දැනේ. ඒත් පොළොවෙන් ඉහළට එසවුනු ගොඩනැගිලි ආලෝක ධාරා නිසා තරු හැංගී ගොස්ය. දවාලට නම් කුරුල්ලෙක් දෙනෙක් පියාඹනවා බලන්නට හැකිය. බොහෝ විට ඒ කාක්කන්ය. කොළඹින් හද්දා ඈත ඉපිද වෙල්ලමුල්ලි වෛක්කාල් හි වෙඩිකා ඇද වැටුනු මගේ ජීවිතය හරිම පුදුමයකි මට. මගේ ගම හීතලය. මධ්‍යම කඳුකරයේ සීතල කඳු වළල්ලක මැද පිහිටි ඒ ගමට සැතපුම් ගාණක් දුරින් බස් රථයක් නවත්තන්නේ දවසටම දෙපාරකි. තුවක්කුව අතට ගත් දා පටන් මා අනුයුක්ත කෙරුණේ ගිණි රස්නෙන් දැවෙන උතුරුකරයේ යුධ බිම් වලය. ඒ යුද්ධයේ අවසාන කාලයය. පණ නැති පාදය හා දෑත සමග අනුරාධපුර රෝහලෙන් කොළඹ මහ රෝහලට මාව මාරුකර එවා දින දෙකකින් ප්‍රභාකරන් මිය ගියේය. ඒත් ඒ වගක් මා දැනගත්තේ ඉන් මාසෙකුත් දවස් ගණනක් ගතවූ පසුය. එතෙක් මා අවසිහියෙන් සිට ඇති අතර යන්ත්‍රයක් මට ජීවය දී තිබේ.



අපට ජීවිතයේ එක් එක් කාලයන්හිදී යන්ත්‍රයන් විසින් ජීවය පිඹින බව මම දැන් විශ්වාස කරමි. ඇතැම් විට මිනිස් යන්ත්‍රද ඇතැම් විට මිනිසා විසින් නිපදවූ යන්ත්‍රද විය හැක. මගේ අම්මා සහ අප්පච්චි මට ජීවය පිඹින ලද අතර ඉන්පසු මා ජීවය ලද්දේ ඇයගෙන බව කිව යුතුමය. කොටි හමුදාවේ උණ්ඩයක්  මගේ තුණටිය සිදුරු කර මා අඩපණ කරන්නට පෙර මැලේරියා මදුරුවෙකුගේ දළයක් මා සිදුරු කර එලොවටම ගෙන ගොස් නැවත ගෙනැත් හැරලන ලදි. ඇය එකල්හි මට සුවිසල් ජීවයක් පිම්බාය. ගමේ පන්සලේ බෝධිය නහවමින් පූජා පැවැත්වූ ඇයගේ ආදරය සිරිමා බෝධියේ කොළ සෙළවෙන මිහිරි නාදය සේ මට දැණිනි. ඇගේ ආදරයේ සුවඳ ආඝ්‍රාණය කළ මැලේරියා මදුරු විෂ මා අතහැර ඉක්මනින්ම යන්න ගිය අතර යුද්ධයේ උග්‍රම කාලය වූ බැවින් මමද ඉක්මනින්ම උතුරු යුධ බිමට ගියෙමි.


තවත් පරක්කු නොකර අපි බඳිමු  ........  ඇය මට විටින් විට කියන්නට ගත්තේ මේ අතරය. අපේ අම්මා සමග ඇගේ මව කතාකරන විට අපිට තව වයස ඇති බව අපේ අම්මා කියූ බව දිනක් ඇය කීවාය. එතැන් පටන් ඇය හැසිරුණේ මගේ අම්මාගේ වෛරක්කාරියක් ලෙසිනි.


විසි අටක් කියන්නේ අඩු වයසක්ද? ඔයාගෙ අම්මට ඔයාව පොඩි උනාට ඔයා දැන් වයසයි ගොඩක්. ඇය නිතරම කියන්නට වූවාය. අම්මා එසේ කියුවේ කුමක් නිසාදැයි මම නොදනිමි. ඇය මට වඩා සත් වසරක් බාල නිසා එසේ කියූවා වන්නටත් පුළුවන. මට ඒ ගැන අම්මාගෙන් අසන්නට ගොස් ඇගේ හිත පාරන දෙයක් කියන්නත් බැරිය. දිනෙන් දින විවාහ වන වයස පසුකරමින් මගේ වියපත් වීම ඉවසන පෙම්වතියගේ සිත සුවපත් කිරීමද ඉතාමත් අසීරුය. එහෙත් ඇය බලාපොරොත්තු වන ආකාරයේ මංගල්ලයක් සඳහා අවැසි මුදල් හදල්ද මා ළඟ නොමැත. ණය වී මගුල් කා ළමයිනුත් උස් මහත් වන තුරු ණය ගෙවන්නටද මට නොහැක.


මම නිවාඩුවට ගෙදර ආ විට හිතේ සතුටින් සිටියේ දවසක් නැත්නම්  දෙකකි. ඇය විවාහය සඳහා දින නියම කරගැනීමට උත්සාහ ගැනීමත් ඒ සඳහා මා තවම සූදානම් නොවීමත් නිසා අපි අතර රණ්ඩු ඇති විය. ඇතැම් විට මම නිවාඩුව අවසන් වීමට පෙර නැවතත් පිටත්වී යන්නට පවා පුරුදු වී සිටියෙමි. යුද්ධය අවසාන අදියරේදී ගෙදර සහ පෙම්වතිය සමග තිබූ සන්නිවේදනය ඉතාම දුරස් විය. ඇය තවත් මා සමග ඇති කළකිරීමට ඉන් වර්ධනය වන්නට ඇතැයි සිතමි.


කොටි උණ්ඩය මා සොයා ආවේ මේ සියල්ල අතරය.  බෙල්ල ඒ මේ අත හරවන්න පුළුවන් වුවද වම් අත සහ පාදය සොලවන්නට නොහැකි අංශභාග රෝගියෙකුගේ තත්ත්වයට මම පත්ව සිටියෙමි. පුනරුත්ථාපන රෝහලෙන්ද එතරම් සුවයක් නොලද තැන සිංහල වෙදකම් සඳහා ගමට ගියෙමි. නැවත වරක් ඇය නිතරම දැකීමට ඒ නිසා මට හැකි විය. ඇය ඇගේ මව හෝ මල්ලි සමග නිතරම මා බලන්නට මගේ ගෙදරට ආවේ අපේ ගම්වල රකින සිරිත් විරිත්ද නොසලකා හරිමින් මා වෙනුවෙන් ඇති ප්‍රේමය නිසා බව මම දනිමි. ඇය එසේ ඇවිත් යන හැම විටකම මම කාටත් හොරා හඬමි. ඇයට මා ගැන මහත් දයානුකම්පාවක් ඇතිවි තිබෙනු විය යුතුය. එසේම ඇයගේ සිහින බොඳවී යාම ගැන ඇය කණගාටුවෙන් ඇති බවද මට දැනෙන්නට විය.


වෙද ගෙදර ගොස් තෙල් සාත්තු කරවාගෙන නැවත මැස්සක තබා ගෙන මාව ගෙදරට රැගෙන ඒම අපේ ගෙදරට පුරුද්දක් වන්නට වැඩි කලක් ගියේ නැත. ගමේ සියල්ලෝම රණ විරුවෙකු වෙනුවෙන් තමන්ට දිය හැකි උපරිම සත්කාරය ලබා දෙන්නට කැපවී සිටියහ. ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් බෝධි පූජා සංවිධානය විය. එහෙත් සතුටක සේයාවක් මා අසළක නොරැඳිනි. ඈ කුමක්දෝ දෙයක් සිත යට තෙරපගෙන සිටින බව මට දැනෙන්නට පටන් ගෙන තිබුනි.


මගේ සැකය සැකයක් නොවන තැනට පැමිණියේය. ඇය නැවත වරක් මා හා සමඟ රණ්ඩු කතා වලට මුල පිරුවාය. මගේ ඇඳ අසල පුටුවක වාඩි වන ඇය ඇගේ දුක මා සමග කියන්නට පටන් ගන්නා විට මට කළකිරීමක්ද කේන්තියක්ද මුසු හැඟීමක් පැමිණේ.


.... මම කියපු කාලෙ අපි කසාදයක් බැඳ ගත්තනම් අද මට ඔයා ළඟට වෙලා සාත්තු කරන්න තිබුනා. අද මට හිතෙන වෙලාවට ඔයා ළඟට එන්නවත් බෑ. අනික මෙහෙම එනකොට ගමේ උන් දාහක් කතා කියනවා....... ඇය කියවගෙන යයි.

.... ඔහොම කතාකරන්න එපා. මේව මම හිතල කරගත්තු දේවල් නෙවෙයි. මටත් ලස්සන මගුල් ගෙයන් කසාද ජීවිතයක් ගැන හීන තිබුනා ....... මම කියා ගෙන යමි.

...... මේවට වගකියන්න ඕනි ඔයාගෙ අම්මා. එයා තමයි මේක පරක්කු කරමු කිව්වෙ. දැන් හරිනෙ. අයියෝ මගේ ජීවිතේ.... .. ඇය විටෙක හිස බිත්තියේ ගසයි.

.... මම ඉන්න තත්ත්වෙ ගැන හිතන්න. මට කේන්ති ගන්න බෑ. එහෙම උනාම මට හරිම අපහසුවක් දැනෙන්නෙ..... මම කියමි එහෙත් ඇයට ගාණක් නැත.


කාගේ හෝ මගුල් ගෙදරක තැන්කියු කාඩ් එකක් දුටු විට ඇගේ මුහුණ මැලවී යනවා මම දකිමි. හිතවත් තැනෙක කාන්තාවක් හෝ ඇගේ යෙහෙළියක් ගර්භනී වී ඇති බව ඇසුණු විට ඇය මට දුරකථන ඇමතුමක් ගනී. මම පණ ඇති දකුණතින් මොබයිලය ගෙන ඇමතුමට පිළිතුරු දෙමි.

... අපිට ළමයි හදන්න බැරිවෙයිද? ...

... අපි සිංහල වෙදකම් කරල බලමු මැණිකෙ.. මේකෙන් ගුණයක් එයි දෙයියනේ කියල ......

..... ඔයාට දැන් වයස තිස් එකක්. අපි බැඳල බබෙක් හදද්දි ඔයාට තවත් වයසයි. බබා ලොකු වෙද්දි අපිට එයා එක්ක ඉන්න කාලයක් නැති වෙනවා. මේව ඔයාගේ අම්මලට තේරන් නැද්ද? ....... ඇය හැඬූ කඳුළින් කියව ගෙන යයි.


වරක් මගේ ඇඳ ළග සිට ඇය මෙසේ කියවමින් සිටින අතර කේන්තිය වාවා ගත නොහැකි මම ඇගේ කම්මුලට ගැසූවෙමි. ඇගේ ඇස් ලොකු විය. එවැන්නක් ඇය කිසි විටක බලාපොරොත්තු වූවක් නොවීය. ඇය මගේ කේන්තිය ඇවිස්සූ බව සැබෑය. එහෙත් ඇයට පහරදීම පිළිබඳව ඇගේ දෑසින් ගලන කඳුළු හමුවේ මම පශ්චාත්තාප වීමි. සියළු දුක් ඉවසමින් ඈ මා සමග සිටින්නීය. මා ඊට ගරු සරුවක් නොකරන්නේ යැයි මට හැඟෙන වාර අනන්තය. එහෙත් මා කුමක් කරන්නද? දැන් ඇයව කැන්දා එන්නට මගේ ගතට වෙරක් නැත.

අම්මා ගෙන් පළිගන්නා බව විටෙක ඇය කියන්නට වූවාය. ඒ කුමටදැයි මම ඇසීමි. ඇගේ විවාහය ඉක්මන් කරන්නට උවමනා නොකළ නිසා නංගීගේ මංගල්ලය ගැනීමට ඉඩ නොදිය යුතු බව ඇය කීවාය.


... මගේ පවට මගේ නංගි පළි නැහැනෙ... මම කීවෙමි.

..... මම අංශ භාගෙ ලෙඩෙක්ව භාර ගත්තෙ. මම කරන කැපවීම කවුරුවත් තේරුම් ගන්නැත්නම් අනික් අයත් මගුල් කන්න ඕනෙ නෑ .... මට වෙන අය මගුල් ගෙවල් ගන්නව දකිද්දි පුදුම කේන්තියක් එන්නෙ ........ ඇය බොහෝ විට මට කියයි. මමද උඩුබැලිව ඇගේ කතා අසා සිටිමි.

... මං ගැන දුක නැද්ද ... මම අසමි.

... කවුරුවත් මං ගැන දුක් වෙන් නෑනෙ .... ඇය කියයි. ඇයට මාවද පවුලේ අයවද ආත්මාර්ථකාමීන් ලෙස පෙනෙන්නට පටන් ගෙන තිබිණි. ඇගේ සිතුවිලි වෙනස් කළ යුතුම වුවද එය කරන ආකාරය මම නොදැන සිටියෙමි.


අපේ සම්බන්ධය ආරම්භ වූ මුල් කාලයේ මම කිසිසේත්ම යහපත් පෙම්වතෙක් නොවුනෙමි. යුද්ධයේ භීෂණය ගෙදර ආ විට ඇගෙන් පිටකරන්නටද ඇතැම් විට මම කටයුතු කළෙමි. ඇයට අනන්ත පහර දුන්නෙමි. ඇගේ වැරදි යැයි මට සිතෙන දේ ඇගේ ඥාතීන් සමග කීවෙමි. ඉන් ඇය නෑයින් අතර අපහසුවට පත්වූ අවස්ථාද තිබිණි. වැරදි හදාගෙන හොඳ මිනිසෙකු වන්නට පොරොන්දු වුවද විගස ඒ පොරොන්දු මගේ අතින් කැඩී ගියේය. දැන් ඇය මගෙන් පළිගන්නේ ඒවාටදැයි මට සිතේ.   


.. මට හිතට දුක ආවම ඔයාට බණින්න දෙන්න. ඒකෙන් මගේ දුක නිවෙනවා. හැබැයි මම ඔයාට ලෙඩා කියනවා. කොන්ද පණ නැති එකා කියනවා. ඔයා ඒ සේරම අහං ඉන්න ඕනි. ඔයා හැදිච්චි කෙනෙක් උන දවසට මම ආයෙත් අර ඉස්සර හිටපු අහිංසකී වෙන්නම් ....... දිනක් ඇය කීවාය.


මම පොරොන්දු වීමි. එහෙත් ඇයට හිතට දුකක් එන විට මට බනින්නට ගනිද්දී දවසක් ඉවසන මම දෙවෙනි දවසේදී ඇයට අසුවූ දෙයින් පහර දෙන්නට පටන් ගතිමි. මට මාවම පාලනය කර ගත නොහැකි විය.

... අංගුලිමාල ඇඟිලි කැපුවට බුදුහාමුදුරුවො අංගුලිමාලගෙ ඇඟිලි කපල නෙවෙයි නිවන් මග පෙන්නුවෙ. මගෙනුයි අපේ අයගෙනුයි වැරදි උනාට ඔය වගේ පළි ගන්න එපා.  ඔයාගෙ පළිගැනීමේ අවසානය මොකක්ද? මම ඇසීමි.

... මට හම්බෙච්ච දුක ඔයාලටත් දැනෙන්න ඕනෙ. මගේ ජීවිතේ පහුවෙනවා ඔයාලට ගාණක් නෑ. එදා මම කියපුදේ කරා නම් මෙහෙම වෙන්නෑ..... ඇය කියයි.

... ඔයාට මට යටත් වෙලා ඉන්න බැරිනම් ආයෙ අපි කවදාවත් කතා නොකර ඉමු....... දිනක් ඇය දුරකථන ඇමතුම විසන්ධි කළාය.


කෙනෙක් තමන්ට රිදවන විට ඒ කෙනාටත් රිදවනවාට වඩා ඒ කෙනා සිටින තත්ත්වය කුමක්දැයි අවබෝධ කරගැනීමට පුළුවන්නම් තමන් පරිණත පුද්ගලයෙකු වනු ඇති බව කොහෙන් හෝ අසා ඇති බව මට මතකය. මට අනුව මම ඇය තේරුම් ගතිමි. ඇයට මා වැනි අංශභාග රෝගියෙකු නිසා ඇයගේ සිහින වියැකී යනු ඇතැයි නියත බියක් හටගෙන තිබෙනු විය යුතුය. එක්කෝ කවුරුන් හෝ ඇගේ හිතට විස පොවනු විය යුතුය. මගෙන් විය යුතු යුතුකම් කිසිවක්ම ඇයට දැන් නොලැබේ. ඇයට ඇත්තේ අන් අය සතුටින් සිටිනු බලා සුසුම්ලෑම පමණි. මටද මගේ ශරීරය වෙද්දුන්ට භාර දී උඩ බලා සිටිනවාට වැඩි දෙයක් කරන්නට හැකියාවක් නැත.



සිංහල වෙදකමින්ද ඵලක් නොවුනු තැන වෙනත් බටහිර ස්නායු වෛද්‍යවරයෙකු සොයා මහරෝහලට පැමිණියෙමි. සැත්කමක් කළ යුතුයැයි ඔහු නිර්දේශ කළේය. සැත්කම අවසානය. දැන් මා ගෙදර යා යුතුය. ඇගේ සුවඳ හැමතැනම මුසුවුනු ඒ ගෙදරට මම නැවත යන්නේ කෙසේද අහසේ ඉගිල්ලෙන නමක් නොදන්නා කුරුල්ලෙකු දෙස වාට්ටුවේ කවුළුවෙන් බලමින් මම සිතන්නට පටන් ගතිමි. 

අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි





2 comments:

  1. එල මචං. අටමගේ බ්ලොග් එකෙන් දැකල තමා මේ පැත්තේ ආවේ. දිගටම ලියන්න (මේ ඇත්ත කතාද?)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ . දිගටම ලියන්නම්. මේක ඉස්පිරිතාල වාට්ටුවක මම අහපු ඇත්ත කතාවක්

      Delete