''ඉර මූද අයිනේ හැංගිල යනව වගේ නේද.....''?
මගේ වම් උරිස්සට ආදරණීය හේත්තුවක් දාගෙන ඉන්න ගමන්ම ඇය මගේ දිහා නොබලාම මූද දිහා බලාගෙන කියෝනවා.
''ම්..ම් හැබැයි ඔය හෝගාන පොකුණට අයිනක් කියල දෙයක් නෑ. ලෝක බෝලෙ වටේටම උඩයි යටයි හැම තැනම මූද රජකරනවා.''
මමත් පණ්ඩිත වාක්කියක් දිග ඇරියා. කොහොමටත් මං හරි ආසයි සෙව්වන්දි ඉස්සරහ මහ බරපතල චරිතයක් රඟපාන්න. ඒ වෙලාවට මං කියන දේවල් තේරුංගන්න එයා අමාරුවෙන් උත්සාහ කරන දිහා බලබලා මං කෲර සතුටක් විඳිනවද මන්දා......මං දන්නෙ නෑ ඇත්තටම.
එයත් නිකං හිටියෙ නෑ
''රජකරනවා විතරක් නෙවෙයි සුනාමිත් එවනවා. ඒ වෙලාවට මූද අයිනෙ ඉන්න අපි වගේ අහිංසක ජෝඩුත් මරාදානවා''.
සෙව්වන්දියි මමයි දෙන්නම එකම ඉස්කෝලෙට ගියේ. එයා විභාගේ කෙරුවේ එකපාරයි. විද්‍යාපීඨ යන්නත් එයාට ලකුණු මදිවුනා. ලකුණු තිබුනත් යන්නැති බව දැනං හිටියෙ මං විතරක් නෙමෙයි. එයාට දුප්පත්කම ඒ තරමටම ප්‍රශ්නයක් වෙලා තිබුනෙ. ඒ හින්දාම ප්‍රතිඵල එන්නත් කලින්ම කටුනායක ගාමන්ට් රස්සාවකට ගියා. අපේ තාත්තා කෙරුවෙත් වත්තක ඩ්‍රයිවර් වැඩක්. ඒත් මම දෙවෙනි පාරටත් විභාගෙට වාඩිඋනා. එයා පඩි අරගෙන ගෙදරටත් යවලා මටත් එව්වා. හැම මාසෙකම මේ දේ සිද්ධඋනා.
දැං මං කැම්පස් ඇවිත් අවුරුදු දෙකක් වෙනවා. තාමත් මහපොළට අමතරව සෙව්වන්දිගේ මාසික ආධාරෙත් හම්බවෙනවා - ඉස්සරට වැඩිය ටිකක් වැඩියෙනුත්. එයා දැන් ප්‍රමෝෂන්. සුපවයිසර්.
දන්නවද?...මට කැම්පස් එකෙත් තව කෙල්ලෙක් ඉන්නවා. එයා කරන්නේ සමාජවිද්‍යාව විශේෂ උපාධියක්. ඒ උනාට එයා නොදන්න රහස් කොච්චරනං මේ සමාජෙම තීනවද?
''ඔයාට තව කොච්චරකල් කැම්පස් ඉන්න තියෙනවද''?
''අතරමග වැහුවෙ නැතොත් තව අවුරුදු දෙකයි.''
''එච්චරකල් .....'' සෙව්වන්දිගේ දිලිසෙන ඇස් ඉස්සිලා මං දිහා බැලූවා.
හුළඟ හරිම අකීකරු වෙලා.එයාගෙ කොණ්ඩෙ මූණෙම පටලෝනවා. ඉතිං මට කිචි. මම වම් අතින් කොණ්ඩෙ පිටිපස්සට කරලා වම් අත කොණ්ඩෙට උඩින් තියාගත්තා. මට මතක් උනේ ලින්ටන් සේමගේ ගේ ''මගේ වම් අත'' චිත්‍රපටිය. ඒකේ කථානායකයා පික්පොකට් කාරයෙක්. අහිංසක ජීවිත වලට හිංසාවාදී තට්ටු දාන මමත් එක්තරා විදියක පොකට් කාරයෙක් තමයි. නඟවා පවුලක් නඩත්තු කරන්න හොරකං කරනවා. පොලීසිය,උසාවිය,හිරගෙදර ඌට හුරුපුරුදුයි. මට නුපුරුදුයි. වෙනස එතනයි.
''මං එච්චර නරක නෑ'' මම හිතුවා.
''වැඩි ලකුණු අරගෙන ෆයිනල් එක පාස්උනොත් මට කැම්පස් එකේම ලෙක්චරර් පෝස්ට් එකක් ඉල්ලන්න උනත් පුඟවන්. එහෙම උනොත් ඊළඟ උපාධි කරන්න රට උනත් ගියහැකි''
''එතකොට මම.......?''
ආයෙමත් ඒ ඇස් දිලිහුනා.
''එහෙම උනොත් ඔයාට තව ටික කාලයක් ඉවසන්න වෙනවා කෙල්ලේ''
''මූදට සීමාවක් නැතිඋනාට මගේ ඉවසීමට සීමාවක් හදලා හරි දෙන්න''
ඒකනං අන්ත අසරණ ආයාචනයක්.
කොච්චර ජරා අදහස් තිබුනත් මගේ පපුවත් හෝස් ගෑවා. මම සෙව්වන්දිගේ මූණ මගේ දෙඅත්ලට මැදිකරගත්තා. ඒ ලස්සන මූණ දැන් මට සමීප රූපයක්. මෙච්චර දුක් විඳිද්දිත් මේ කෙල්ල මෙච්චර ලස්සන වෙන්නෙ කොහොමද? අංශු මාත්‍රයකින්වත් වැහැරිල්ලක් නෑ ඒ රූපෙ. මේ කෙල්ලගේ හිත හොඳයි. සෙව්වන්දි කියන්නේ රෝස මලට එයාට ඒ නම ඝන පිහිටුවලා දැම්මේ අස්සජි හාමුදුරුවෝලූ.
සෙලෝලයිඩ් හිතුවිලි පටිය සුපර්සොනික් වේගෙයෙන් ඉගිලූනා.
''උපාධි කරලත් රස්සාවල් නැතුව හුඟදෙනෙක් ඉන්නවා නේද?''
ඒ ප්‍රශ්නෙටනං මාව ටිකක් ඩිම් උනා. ෆයිනල් ඇනුනොත් ඇනුනම තමයි. කෙල්ලන්ව රවට්ටනවා වගේ නෙමෙයි ජීවිතේ හරිම අමාරුයි. ඒත් පවු කරල ඉපදුන මේ ගොන් නාම්බට හපුතල් කන්ද නගින්නම වෙනවා.
''මම ට්‍රයි කරලා බලනවා රස්සාවක් හොයාගන්න.බැරි උනොත් මමත් එනවා ඔයාගේ ගාමන්ට් කලාපෙටම.''
''අපෝ හීනෙකින්වත් එන්න එපා ඒ රස්සාවට''.
එයා මට එයාගේ දෙඅත්ලම පෙන්නුවා. ඇඟිලි දහයෙන් හත අටකම මුල කරගැට ඇවිල්ලා.
''මේ මොකද මෙච්චර කරගැට?''
''රෙදි මනින්න කෝදුව අල්ලනවනෙ හැම තිස්සෙම ඒකයි.''
මගේ කැම්පස් පෙම්වතීගෙ දකුණු අතේ මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි අගිස්සවල් අනික් ඇඟිලිවලට සාපේකෂව ඝනකමයි. ඇයි ඉතිං කියවන නෝට් එක අනික් අතට ලියනවා. ඉතිං පෑන අල්ලන ඇඟිලි ගොරෝසු වෙන එක අහන්නත් දෙයක්ද?
මේ අස්සෙ අපි වාඩිවෙලා හිටිය බංකුව ගාවට අන්නාසි කාරයෙක් ආවා.
''අන්නාසි කෑල්ලක් කමු නේද මල්ලි'' ඌ වෙළඳාම කරන්නෙත් පාට් එකෙන්. කෙල්ල ඉස්සරහ නෝණ්ඩි වෙන්න බැරි නිසා කොල්ලො වෙස්සන්තරලා වෙනව කියන ආර්ථීක විද්‍යා තියරිය ඌ හරියටම ඉගෙන ගෙන තියෙනවා.
''කෑලි දෙකක් දෙන්න''
මගේ වචන තුනට පුඟවන් උනා සෙව්වන්දිගේ පර්ස් එකේ තවත් ගානකට විදින්න.
හොස්ටල් එකේ බිත්ති පුරාම වමේ පොරවල් හිනාවෙනවා. ඒත් මට ඕනෙ වම දකුණෙන් ඕවර්ටේක් කරන්න. ඒකට සල්ලි ඕනෙ මට නැත්තෙත් එව්වමයි.
''සෙව්වන්දි ..... මට රුපියල් පන්සීයක් දෙනවද ? අනුරාධපුරේ යාළුවෙක්ගේ ගෙදරක පිරිතකට යන්න තියෙනවා''
''ලබන සුමානෙ පඩිනෙ එතකොට දෙන්නම්''
''හ්ම්''
කොළඹ අහස ඩිංගක් විතර කළු කරා.
''දෙයියනේ වහින්න නං එපා හෙට වැඩට අඳින්න තියෙන්නෙත් මේ ඇඳුමමයි.''
සෙව්වන්දි අහස දිහා බලාගෙන කිව්වා.
''මමත් මාසයක් තිස්සෙම පට්ට ගහන්නේ මේ ඩෙනිම තමයි'' මම එහෙම කියන්න හිතුවත් කිව්වෙ නෑ. කිව්වනං අනිවාර්යෙන්ම ඊළඟ පඩියෙන් ගෙදරට යවන කොටහ අඩුකරල හරි මට සල්ලි දෙයි. කලිසමක් ගන්න කියලා.
වැඩිය කඩන නරක ළමයෙක් වෙන්න හොඳ නෑ
''මොකක්ද අනේ එකම කලිසම හැමදාම අඳින්නේ ලැජ්ජා නැද්ද''කියලා කැම්පස් පෙම්වතී දවසක් කිව්ව.
හොම්බට දමල අනින්න හිතුනත් ඒක කෙරුනෙ නෑ. කවදා හරි බඳින කෙනා අධ්‍යාපන මට්ටමෙනුත් සම උනොත් හොඳයිනෙ. මම එහෙම හිතුවා.
''ගඟෙන් දිය බීල මුහුදට ආවඩන්න එපා යකෝ '' මගේ යටි හිත මට කිව්වා.
''අපි යමුකො අනේ ආයි දවසක කඵතර බෝධි, ගෙදර යන ගමන්ම යමුකෝ''
''යමු''
මාත් ඕනෑවට එපාවට කියල දැම්මා.
සෙව්වන්දිත් එක්ක බුදු පිළිමයක් ළඟට ගිය වෙලාවට ඇත්තමයි මං මාර විදියට අප්සට් වෙනවා. මම කරන්නේ දිට්ඨධම්ම වේදනීය කරුමයක් කියල මට ඇඟටම දැනෙන්නේ ඒ වෙලාවට තමයි.මට නං යන්න අපායක් නෑ.
''පහමාරයි අපි යමුද ඔයාට රෑ වෙනවනේ'' මම ඇහුවා.මම දන්නවා එයාට ඕනෙ තව ටික වෙලාවක් මං ළඟින් ඉන්න.
''ලබන ඉරිදත් එනවා නේද?''
බංකුවෙන් නැගිටින ගමන් එයා ඇහුවා.
''හ්ම්''
ගෝල්ෆේස් හෝටලේ ආඩම්බරෙන් අපේ දිහා බලං ඉඳියා. පරණ පාර්ලිමේන්තුව ඉස්සරහා හිටපු නායකයින්ගේ පිළිම ටික මූදටම විරිත්තගෙන ඉන්නවා. සෙව්වන්දිව කොටුවෙන් එයාපෝට් බස් එකක නග්ගලා මම පුංචි බොරැල්ලෙ හොස්ටල් එකට යනවා.
ලබන සතියෙත් එයා මගේ අතේ කීයක් හරි මිට මොළවයි අද වගේම.
වවුල්ලූ රෑනක් කොටුවෙ ස්ටේෂන් එකට උඩින් වරාය පැත්තට පියෑඹුවා.
103 බස් එකක් අහස් පාලම මුලම නතරකෙරුවා.
මම පය ඉක්මන් කරා.
අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි
අමිල.................................
ReplyDeleteකැම්පස් කොක්කයි, ගාමන්ට් කොක්කයි කියන දෙක පැත්තකින් තියමුකෝ.. මං නං මේකේ දකින්නේ කැම්පස් ඉන්න කන්න අදින්න නැති කොල්ලෙක්ගේ ජීවිතය, ගාමන්ට් ගිහිං ගෙදරත් නඩත්තු කරගෙන අල්ලන්න අමාරු අත්තක් අල්ලාගෙන අනාගත හීන දකින ගාමන්ට් කෙල්ලෙක්ගේ ජීවිතය සහ විශ්ව විද්‍යාල පරිසරය.. සුන්දරයි.. අකුරු කෙරුවාව.. ගැලපීම.. වගේම කතාව හරිම ලස්සනයි....... ඒත් බුදුපිලිමයක් ළගට ගියාම දැනෙන දේ ජීවිතය පුරාවට ම දැනෙන්න දෙන්න ඒපා
මේ කතාව නං හිත ඇතුළටම වදිනවා බං.පණ්ඩිත වාක්‍ය නැති නිසාම සරලව ගලා යන කතාව කිසිම වෙහෙසක් නැතුව කියවන්නට පුළුවනි.
ReplyDeleteමම මේක කලින් කියෙවුවෙ බූන්දියෙන් වෙන්න ඕනෙ. අපූරුයි අයියේ! බොහොම සතුටුයි ඔබේ නිර්මාණ බ්ලොග් ලෝකයට ගෙන ඒම ගැන!!
ReplyDeleteබොහොම සතුටුයි ඔබේ නිර්මාණ බ්ලොග් ලෝකයට ගෙන ඒම ගැන!! x 2 :)
Deleteහිතට දැනුන නියම කතාවක්.. කියන්න වචන නැහැ..
ReplyDeleteකතාව හෙදට දැනෙන්න ලියල තියෙනවා...
ReplyDeleteඋඹට මීටත් වඩා දැනෙන්න ලියන්න පුළුවන්.. තව ලියපන්..
ReplyDelete