Tuesday, July 28, 2015

සුළඟ එනවා අපි රුවල් බා ගමු




මහින්ද සුළඟ එනවා සහ මහින්ද සමග නැගිටින්න මේ දිනවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද පාර්ශවයේ සටන් පාඨයන්ය. කතා දෙකක් නැත සටන් පාඨ ආකර්ෂණීයය. ඇඩ්වර්ටයිසින් භාෂාවෙන් කියනවා නම් කැචී ලයින්ස්ය. ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාව නැවත වරක් දේශපාලනයට රැගෙන ඒමට උත්සාහ ගන්නා අවධියේ කීවේ මහින්දාගමනය කියාය. එහෙත් මහින්දාගමනයන් දෙකක් සිදු වීම මේ රටට දෙවරක් බුදු දහම රැගෙන ඒම වැනි දෙයකි. පළමුවර ගෙන ආ බුදු දහම නිකං හරි මදි වගේ යැයි සැදැහැවතුන් පැවසූ විට නැවත වරක් බුදු දහම රැගෙන එනවා වැනි වැඩකි. ඇත්තටම සන්ධානයට සිදු වූයේද එයමය. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඔවුන් දේශනා කරන ලද දේශපාලනික ධර්මය වරක් අසා දෙවැනි වරත් අසා එපා වූ විට ජනතා සුපින්වතුන් තෙවැනි වර ඒ බණ ඇසූවේ නැත.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්ෂිකයෝ ජාතිආලයට දිවි හිමියෙන් ලැදියාවන් දක්වන්නන්ය.  ඒ බිජුවට සරුවට පැලවීම සඳහා බොදු බල සේනාවෙන් මෙන්ම නාථ දෙවියන්ගෙන්ද ඔවුන්ට පොහොර ලැබුණි. සරදමකි. සන්ධාන ජාතික ලැයිස්තුවෙහි ඉන්දීය රහස් ඔත්තු සේවාවේ චරපුරුෂයින් සිටිනවා යැයි කියමින් නාථ දෙවියන්ගේ සිංහලද්වීප ඒජන්තයා වූ මහාචාර්ය නලින්ද සිල්වා මහතා ඒ ලැයිස්තුවෙන් ඉවත් වී තිබේ. ඔවුහු ජාත්‍යාලය කරන පිරිසක් බව පෙර සඳහන් කළෙමි. එම නිසා සිංහලේ මූලය වූ රාවණාට පුදුමාකාර ගෞරවයක් දක්වති. මහින්ද රාජපක්ෂ මහතා රාවණා රජු සේ බල පරාක්‍රම දක්වද්දී කුරක්කන් පිටි ආප්පයක් කා එහි ශක්තියෙන් විභීෂණ කෙනෙකු වී දඬු මොණරයේ රේඩාර් සංඥා වෙනස් කරන ලද්දේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. අවසානයේ විභීෂණ රාමගේ සහයෝගයෙන් ලංකාවද ඩැහැ ගත්තා සේ මෛත්‍රීපාල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඩැහැගත්තේය.

වැඩි කල් ගියේ නැත. මහින්ද සුළඟ හැමුවේය. පක්ෂයේ නායකකම හැර බොහෝ දේ ඒ සුළඟට හසු විය. දැන් මහින්ද සුළඟ රටටම හමන්නට ලෑස්තියක් වෙන බව පෙනේ. තුනක් බෑ කියූ සරත් සිල්වාගේ අතද හුළං පොම්පයකි. මහින්ද යුගයේ මහින්ද වාදීන්ගෙන් පක්ෂයට වූ හානි ගැන කඳුලින් දුක කියූ ජනක බණ්ඩාර තෙන්නකෝන්ද කවියෙන් ඉල්ලා අස්වී මහින්ද රාජපක්ෂ මහතාගේ දෙපා වඳිනු අපි දැක්කෙමු. මහින්ද මහත්තයා විවේකයෙන් බණ දහමට යොමුවීම හොඳ යැයි කියූ එස්. බී ද දැන් කියන්නේ ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍රකාශයෙන් පක්ෂයට දැඩි හානි සිදු වූ බවය. අනුරාධපුරයේ දුමින්ද දිසානායකත් කළුතර මහින්ද සමරසිංහත් මහින්ද විරෝධය පෑවද සමස්තය ලෙස නම් පක්ෂය තුළ දැන් තත්ත්වය මහින්ද රාජපක්ෂට වාසිදායකය. ඒ කියන්නේ මහින්ද සුළඟ ඒවිද?

අපි සොයා බැලිය යුත්තේ සුළඟ ඒවිද සුළඟ හමන අත කුමක්ද යන්න නොවේ. සුළඟ ආවොත් මොන මොන දේවල් ගසාගෙන යයිද කියාය. මහින්ද සුළඟක් නොව සුළි සුළඟක් තරම් බලවත්ව තෙදවත්ව හැමූ යුගයේ ගසා ගෙන නොගියේ මොනවාද? ආයතන පද්ධතිය කඩා ගෙන වැටුනේ චීනයේ නිෂ්පාදිත වාහනයක එන්ජිම ගෙවෙනවාටත් වැඩි වේගයකිනි. කුමට එවන් අධිකරණය නීතිය සහ විනිසුරන් යැයි නන්දා මාලනීගේ ගීත නාදය ඇසෙන්නට තිබුනේ ඒ අවධියේය.

සැබෑවකි බහුතර ජනයාට අධිකරණයේ ස්වාධීනතාවය වත් මානව හිමිකම්වත් වැදගත් නැත. වැදගත් නොවන්නේ ඒ පිළිබඳ දැක්මක් දැනුමක් ඔවුනට නොමැති බැවිනි. පාලනයක පීඩනය ඔවුන්ට දැනෙන්නේ බඩ ගින්න සමගය. ඒ බඩගින්න අමතක කරන්නට තරම් හැකියාවක් පසුගිය රජය විසින් නිර්මාණය කරන ලද බොරු ජාත්‍යාලයට සහ බොරු ජාත්‍යන්තර කුමන්ත්‍රණ බිල්ලන්ට හැකි විය. ජාත්‍යන්තරයට අඩෝ කියන ක්‍රමයකට අපේ රටේ බහුතරය කැමැතිය. සැබැවින්ම එහි චණ්ඩි ත්‍රිලක් ඇත. අප වැනි ශක්ති හීන රජ්‍යයක් ජාත්‍යන්තරයට අඩෝ කියන විට ඔවුහු අධෝ මුඛයෙන් අපට සිනාසෙන බව නොදන්නා මේ දූපත් වාසීහු පවසන්නේ ජාත්‍යන්තරය හමුවේ දණ නොගසන නායකයෙකු අපට උවමනායි කියාය.

මහින්ද සුළඟේ ගසාගෙන යාමෙන් වැළකීමට නම් අපි මහින්ද සුළඟේ විනාශකාරීබව අවබෝධ කරවීමේ කාර්යභාරය ඡන්ද මධ්‍යස්ථානය දක්වාම රැගෙන යා යුතුය. එනම් කොයි තරම් මහින්ද වාදියෙකු වුවද අවසාන මොහොතේ හෝ තම මතය වෙනස් කරගන්නා තැනට තල්ලු කළ යුතුය. ආණ්ඩුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා පසුගිය සමයේ රජයේ නිලධාරීන් මෙන්ම හිටපු මන්ත්‍රීවරුන්ද අධිකරණය හමුවට ගියහ. අධිකරණය විසින් ඔවුන් ඉල්ලා සිටි තාවකාලික තහනම් නියෝග ලබා දෙනවා අපි දුටිමු. මහින්ද විරෝධීන් වුවද මේ පිළිබඳව සතුටු විය යුතුය. ඒ පෙන්වන්නේ ඔවුන් පැතූ රට ගොඩ නැගෙන ආකාරයයි. ඔවුහු පසුගිය ජනවාරි අට වැනිදා තම කතිරය සටහන් කරන ලද්දේ පක්ෂයක් වෙනුවෙන් නොව හෙටක් වෙනුවෙනි. එහිදී අධිකරණයට අත පෙවීම නතර විය යුතුය. ආණ්ඩුව විසින් සිදු කරන ක්‍රියාවකට එරෙහිව වුවද අධිකරණය හමුවට ගොස් සහනයක් ඉල්ලා සිටීමට හැකියාව තිබිය යුතු රටක් ගොඩ නැගීම වෙනුවෙන් අපි එදා ඡන්දය ප්‍රකාශ කෙරුවෙමු.

ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය නිලයෙන් පහ කළ ආකාරය රටේ නීති පද්ධතියේ නොමැකෙන කළු පැල්ලමක් විය. පකිස්ථානයේ අග විනිසුරුවරයා මීට වසර ගණනාවකට පෙර නිලයෙන් පහ කරන්නට යාමේදී එරට නීතීඥ ප්‍රජාවේ තරම් සක්‍රීය දායකත්වයක් මෙරටින් දක්නට නොලැබුනද ශ්‍රී ලංකා නීතීඥ සංගමයද විශිෂ්ට කාර්යභාරයක් එහිදී සිදු කරන ලදි. ඔවුන්ට එම සීමාවෙන් ඉදිරියට නොයාමට ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ එවක පාලන රාමුව විසින් අනීතික බලපෑම් සිදු කිරීම ප්‍රසිද්ධියේ සිදු විය.

පාලනයක් එපා වන්නේත් එය වෙනස් කරන්නට වැඩි දායකත්වයක් ලබා දෙන්නේත් බොහෝ විට පාවෙන ඡන්දයන්ය. පාවෙන ඡන්ද නියෝජනය කරන්නේ උගත් බුද්ධිමත් තලයේ ඡන්ද දායකයන්ය. පසුගිය රජය විසින් රටේ නීති පද්ධතියෙහි කරන ලද කඩා වැට්ටවීම් නිසා යුද්ධයේ නිමාවත් සමග මහින්ද රාජපක්ෂ දෙසට හැරුණු පාවෙන ඡන්ද මෛත්‍රීපාල සිරිසේන සොයා යන ලදි. ඔවුනට වැදගත් වන්නේ ගෑස් මිල අඩුවීම හෝ බියර් පෙරන්නට වැඩි මිලට ගොවියාගෙන් සහල් මිලදී ගැනීම නොවේ. ඔවුන්ට වැදගත් වන්නේ බියර් පෙරන්නට ගොවි ජනතාව වෙත වැඩි මුදලක් ලබා දී සහල් මිලදී ගැනීම නිසා වෙළෙඳ පොලේ සහල් හිඟයක් ඇතිවී සහල් මිල ඉහළ යාමය. පසුගිය ජනවාරි අට වැනිදාට පෙර යුගයේදී අනුගමනය කෙරුණේ හෙංචයියන් ලවා බියර් නිෂ්පාදනය සඳහා වී අස්වැන්න වැඩි මිලට මිලදී ගනිමින් අපි වීවලට ඉහළ මිලක් දුන්නා යැයි කියන ආකාරයේ අනුවණ උපක්‍රමයන්ය. 

ගොබෙල්ස් ගේ තියරිය නැතිනම් එකම බොරුව නැවත නැවත කියමින් එය ඇත්තක් බව ඒත්තු ගැන්වීම පහසුය. එහෙත් ගොබෙල්ස්වරුන්ට නොතේරෙන පරදි වර්තමානය වන විට ජනතාව සංවිධානය වී සිටිති. නායකයින් නොමැති මතවාද සංසරණය වීම් අද වන විට අධිපති මාධ්‍යයන්ගෙන් මිදී නිදහසේ සංසරණය වෙයි. ජනතාව ඒවායින් නිවැරදි මතය තෝරා ගනිති. රාජ්‍ය මාධ්‍ය මහින්ද රාජපක්ෂගේ දැන්වීම් ඉතාම අවම මිලකටත් මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ අභියෝග කෙරූවන්ගේ දැන්වීම් ඉතා අධික මිලකටත් ප්‍රචාරය කරද්දී එවක අපටත් දැනුනේ මෛත්‍රී ඇවිත් හමාරයි කියාය. ලයිට් කණුවක් කණුවක් ගානේ මහින්දගේ කටවුට් එල්ලූ ඒ සමයේ මෛත්‍රී ගේ කටවුට් එකක් සොයා ගැනීම කළුනික සෙවීමක් විය. ඊට වසර හතරකට පෙර ලක්ෂ විසි දෙකකින් සරත් ෆොන්සේකා පරාජය කර දිනාගත් ජනවරම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආගමනය හමුවේ ලක්ෂ හතරකින් පරාජය කරගන්නට මහින්ද රාජපක්ෂ මහතාට සිදු විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනවාරි අට වැනිදා පරාජයට පත් වූයේ බලය උපරිම ලෙස අවභාවිතයේ යොදවන අතරය. දැන් බලය ඇති යහපාලන ආණ්ඩුව රජයේ මාධ්‍ය පාලනයේදී විපක්ෂයට සාධාරණ ඉඩකඩක් වෙන් කර දෙයි. මේ වන විට යහපාලනයට සහ මහින්ද සුළඟට එකසේ නිර්දය විවේචන එල්ල කරන ජනතා විමුක්ති පෙරමුණේ පසුගියදා පැවැති සම්මේලනය සජීවීව විකාශය කරන්නට රජයේ රූපවාහිනී නාළිකා කටයුතු කිරීම පැසසිය යුතු කරුණකි.

මහින්ද රාජපක්ෂ පාලන යුගයේදී සොරු පොකුරු ගැසුවෝය. සොරු සිටියද දඬුවම් ක්‍රියාවට නැංවුනේ නැත. අපි ළඟත් සොරු සිටියා. අපි ඔවුන්ට දඬුවම් දුන්නේ නෑ. ඒ නිසා ජනතාව අපිට දඬුවම් දුන්නා යැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා කීවද සොරු කවුදැයි කියා කීවේ නැත. ඒ සොරුන් අතහැර මැතිවරණ සටනට පැමිණියේද නැත. ඉදිරි මැතිවරණයෙන් තමන් ලබා ගන්නා ආණ්ඩුව යටතේ සියලුම වැරදිකරුවන්ට දඬුවම් පමුණුවන සමානාත්මතාවයෙන් සපිරි රටක් නිර්මාණය කරන බව එතුමා මැතිවරණ වේදිකාවන්හිදී  මේ දිනවල පවසයි. එසේනම් දඬුවම් දෙන්නට හදන්නේ තමන් ලඟ සිටින හොරු හැර වෙනත් හොරුන්ටදැයි ප්‍රශ්නයක් මතු වේ. ඉතිං අපි සොර සුළඟට හසුවී අප සතු දෑ ගසා ගෙන යන්නට ඉඩ දෙනවාද?

එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කරනුයේ ලොසින්ජර පන්නයේ පොරොන්දු මල්ලකි. ඒවා දේශපාලන පක්ෂයක් විසින් ජනතාව ඉදිරියේ තැබිය යුතු තාර්කිකත්වයෙන් පිට පනින ලද අන්ධභක්තික පාක්ෂිකයන්ට පමණක් සුදුසු ඒවාය. අප පෙර කී පාවෙන ඡන්ද හිමි බුද්ධිමත් පිරිස් ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් ඒවාට නැත. ශ්‍රී ලංකාව කුඩා පරිමාණයේ රටක් වන අතර නුදුරු අනාගතය තුළ අප සතු භූමිය දිනෙන් දින ඉහළ යන ජනගහණයත් සමග සීමා වනු ඇත. එවිට කෘෂි කර්මාන්තයෙන් පමණක් අපට රටක් ලෙස ඉදිරියට යාමේ හැකියාව සීමාවේ. එසේනම් අපි නව තාක්ෂණයට එළඹිය යුතුය. ගෝලීය ප්‍රවණතා හඳුනාගනිමින් ඒවා රටේ දියුණුවට උපයෝගී කරගත යුතුය. ගූගල් සමාගමේ විශේෂ නියෝජිතයින් ලංකාවේ ව්‍යාපාර මෙහෙයුම් දියත් කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා සමග පසුගියදා සිදු කළ සාකච්ඡාව වැනි ව්‍යාපෘතීන් ඵලදායී මට්ටමකට රැගෙන ආ යුතුය. ක්ෂිතිජයෙන් එහා දකින මිනිසුන් තනනවා යැයි කිය කිය ලංකා මැඩියන් තැනිය යුතු නැත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඩැහැගනිමින් සිටින පිරිසට ඇත්තේ කාපට් වර්ගයේ සිහිනයන්ය. කාපට් ඇතිරූ අධිවේගී මාවත් රටක දියුණුවට අත්‍යාවශ්‍යය. නමුත් සාමාන්‍ය පවුලේ ගමන් සඳහා ඒ මං මාවත් උපයෝගී වනවා සේම ඒ මාර්ග දිවෙන පළාත්වල නිෂ්පාදනයන් අගනුවරට රැගෙන ඒමේ ක්‍රමෝපායන් සකස් විය යුතුය. හම්බන්තොටින් ගොඩ බා කොළඹට ගෙනෙන වාහනයට අමතර ප්‍රවාහන ගාස්තුවක් අයකර එය පාරිභෝගිකයා පිට පටවන ජාතියේ දැනට පවතින සන්ධාන පන්නයේ සුදු අලින් කොටු කළ යුතුය.

සුළි සුළං හමද්දී නැවක් රුවල් දමන්නේ නැත. දූපතක් ලෙස අපට චීනය දෙසට පමණක් ඉබා ගාතේ පාවිය නොහැක. ලෝකය හමුවේ පීඩනයකින් තොරව නොබැඳි පිළිවෙතින් නැගී සිටීමට නම් කරදරකාරී සුළං පැමිණෙද්දී රුවල් බා ගත යුතුය. එවිට සුළඟට මිස අපට බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවන්නේ නැත.




අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි 

Monday, July 20, 2015

විරුද්ධ වාදීන්ගේ කටවල් ගඳ විය හැක. එහෙත් අපි අපටත් ඔවුන්ටත් සුවඳවත් හෙටක් ගොඩ නගමු



මෙවර 2015 මහ මැතිවරණයේදී පක්ෂ දෙකේ ආධාරකරුවන් දෙපාර්ශවය අතර දැකගත හැකි ප්‍රධානතම ලක්ෂණ දෙකක් තිබෙනවා. එනම් එක්සත් ජනනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව නැවත අගමැති ධූරයට පත් කළ යුතු යැයි පවසන කණ්ඩාමේ ඇති දැඩි වෛරී ස්වභාවයත් යහපාලන ආණ්ඩුව වෙනුවෙන් එම මතවාදය වෙනුවෙන් ක්‍රියාකාරීවන පිරිසගේ ඇති මෛත්‍රීසහගත බවත්ය. මේ බව වඩාත් හොඳින් දැක ගැනීමට හැකි හොඳම ස්ථානය ෆේස් බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය සයිබර් අවකාශයයි.  

මීට හේතු සහගත මතවාදී පදනම කුමක්දැයි සලකා බැලීම ඉතාමත් වටින්නේ වෛරී සිතුවිලිවලින් ගහන පිරිසක් අතට රටේ පාලනය බලය තල්ලු කිරීමෙන් රටට විය හැකි විනාශය වළක්වා ගැනීම උදෙසායි. එක්සත් ජනතා නිදහස් සන්ධානය දැන් හැසිරෙන්නේ එහි වත්මන් නායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද ද්‍රෝහියෙකු සේ සලකා ගෙනය. තමන් විසින් රජෙකුට උපමා කරමින් සැලකූ ඒ රජ වෙස් ඇඳුම් කට්ටලය ඉත සිතින් හැඳගත් තම පැරණි නායකයා පිළිබඳව ඇති ගැලවිය නොහැකි මිත්‍යා ෆැන්ටසියක එජනිසයේ ආධාර කරුවන් ඇලී සිටිනු දැකගත හැකිය.

වැදගත්ම දෙය නම් එජනිසය සඳහා මෙවර මතවාදී පදනම සැපයීමේ බුද්ධිමතුන්ගේ අඩුව ගියවර ජනාධිපතිවරණයේදීටත් වඩා දැකගත හැකි වීමයි. තම පාක්ෂිකයින් මතවාදීව අන්‍ය මත හා අතින් පයින් නොව සංවාදශීලීත්වයෙන් සටන් කරවීමට නම් දේශපාලන පක්ෂ සඳහා බුද්ධිමත් න්‍යායාචාර්යවරුන් අවශ්‍ය වේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එවන් පිරිස් සිටී දැයි ඔබ හොඳින් විමසා බලන්න. උගතුන් එහි සිටියද ඔවුන් සියල්ලන්ම සිටින්නේ ජාති වාදී ආගම් වාදී මඩ ගොහොරුවේ එරී ගෙනය. එසේම රජෙකුට යටත්වී එහෙයියන් වීමේ ආසාවක් කුමක් හෝ කරුමයකට අපට ලැබී ඇති නිසා කොතරම් උගතුන් වුවද ඔටුනු පළන් රජෙකු යැයි ඔවුන් සලකන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ආධාරකරුවන්ගේ පාපිස්නාවන් බවට පත්වීමට තරම් හීනෝන්මාදයකින් ඔවුහු පෙළෙති. 

මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා යනු ශ්‍රී ලංකාවේ නීතිය පිළිබඳව සිටින ප්‍රාමාණික බුද්දීමතෙකු බව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පිළිගන්නා සත්‍යයකි. එහෙත් ඔහුට සිදුවී ඇත්තේ කුමක්ද?. ජාතිවාදී ආගම්වාදී සහ දේශපාලනික වශයෙන් කිසිදු බුද්ධි මට්ටමක් නොමැති පිරිසක් සමග මාධ්‍ය සාකච්ඡා පවත්වනවා හැරෙන්නට ඔහු අද සිදුකරන සාධනීය කාර්යභාරයක් තිබේද? ඉතිං එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන්ට එවන් බුද්ධිමතුන්ගෙන් ඇති වැඩක් නැත. සන්ධානයේ නායකයින්ද වාචාල කථිකයින් වේදිකා නංවා සාමාන්‍ය ජනයාට මොහොතක සතුටක් ලබා දී චූන් වුන ඡන්දයක් ඉල්ලනවා මිසක දීර්ඝ කාලීන වශයෙන් වැඩදායී ප්‍රතිපත්ති හඳුන්වාදීමක නිරත නොවෙති.  

එක්සත් ජනතා නිදහස් සන්ධානය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමන්ගේ නායකත්වය යටතේ සබුද්ධික ඉදිරි ගමනක නිරතවනු ඇතැයි රටේ මධ්‍යස්ථ මතධාරීන් අපේක්ෂා කළහ. එහෙත් සිදුවූයේ කිසිවෙකු නොසිතූ ලෙස මහින්ද පිල විසින් එහි පාලනය අල්ලා ගැනීමයි. නමුත් අපි කලබල විය යුතු නැත. ශ්‍රී ලංකාව යනු ශ්‍රීලනිප හෝ එජනිසය නොවන නිසා මේ තත්ත්වය පාලනය කිරීමේ හැකියාව බහුතර නිදහස් මතධාරීන්ගේ ඡන්දයට ඇත. විප්ලවයක් අවසාන වූ වහාම පැරණි සමාජවාදී රාජ්‍ය නායකයෝ ප්‍රතිවිප්ලවය මැඩපැවැත්වීමට සූදානම් වූ වා සේම නැවත රට අගාධයට යාම වැළැක්වීමේ හැකියාව මෙවර අපගේ ඡන්දයට ලැබී තිබේ.(‘‘ප්‍රතිවිප්ලවය“ උදාහරණයක් පමණි - එය උත්කර්ෂයට නැංවීමට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙකුවන මට අවශ්‍යතාවයක් නැත)

ෆේස් බුක් අඩවියේ මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන පිරිස භාවිතා කරන වචනවලට වඩා  හඩ්සන් සමරසිංහගේ වචන මාලාව යහපත්ය. විරෝධාකල්පයක් දුටු තැන කිපෙන සහ එසේ කිපීම තම කැපවීම යැයි සිතන ඔවුන් විරුද්ධවාදීන්ගේ රුධිරය ඉල්ලා සිටින අවස්ථා අපමණ දැක ගත හැක. ලිංගිකත්වය පවා අපහාසයට ගනිමින් කටයුතු කරන ඔවුන්ට අනුව මෙරට එකම ගැලවුම්කරුවා මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාය. වත්මන් ලෝකයේ නව්‍ය ප්‍රවනතා කෙරෙහි නොව ඔවුන් සැලකිලිමත් වන්නේ අතීතකාමී දඬු මොණරුන් කෙරෙහිය. 

අකමැත්තෙන් වුව කිව යුතු දෙයක් ඇත. අපේ රටේ බහුතරයකට සාක්ෂරතාවය ඇත. පරිකල්පන හැකියාව නැත. නැති නම් ඉතාම අවමය. ඉතිං ඔවුහු වෙන කාගේ හෝ අදහස් කරපින්නා ගනිති. ඒ සඳහා හොඳම ආයුධය වන්නේ ජාතිවාදීත්වයයි. එය ඉතාම පහසුවෙන් සිංහලයාගේ රුධිරයට කාන්දු කරවිය හැක. නැවත කොටි සංවිධානය නැගිටිනු ඇතැයි හැඟීමක් ඔවුන්ට කාවද්දා තිබේ. ඉතිං දැන් අපට ඇත්තේ බියට පත් එජනිස පාක්ෂිකයින් පිරිසකි. කොටි නැවත නැගිටින්නේ යැයි කීම නම් සිහිනයකි. කොටි නැවත නැගිටිය නොහැකි සේ මර්ධනය කිරීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අප ගෞරවය පුද කළ යුතුමය. නමුත් එජනිස කණ්ඩායම රට තුළ අරාජිකත්වයේ බියක් මවමින් නැවත නැවත යුද්ධයේ බියකරු ගිණි සිළු දැල්වීම පරාජය කළ යුතුය. මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පැහැරගනිමින් සිටින එජනිසයට දැන් ඒ හැකියාව නැත. ඔවුන් ආවේගකාරීව හැසිරෙන්නේ මතවාදී වශයෙන් ඔවුන්  අපාගතව සිටීම පිළිබඳව දැනුවත්භාවයක් නොමැති නිසාය.  

යකඩ සපත්තුවක සිරවූ බුද්ධිමතුන් සහ නූගතුන් අතර වෙනසක් නැත. එම නිසා අප කළ යුත්තේ රටක ව්‍යවස්ථා සම්පාධනයට සැබෑ දායකත්වයක් ලබා දිය හැකි බුද්ධිමතුන්ගෙන් පාර්ලිමේන්තුව පිරවීමය. ගමේ පාරට තාර දමාගැනීමට සහ ලයිට් කණු සිටුවීම සඳහා තව දුරටත් මන්ත්‍රීවරු පත්කරගත යුතු නැත. ඒ සඳහා ඇති රාජ්‍ය ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම ඊට ඇති හොඳම විසඳුමයි. පාර්ලිමේන්තුව යනු රටට අවශ්‍ය නීති සම්පාදනය කරන තැනයි. පාරවල් හදන ගොඩනැගිලි හදන මේසන් බාස්ලාගෙන්ද පාර්ලිමේන්තුව පිරවිය යුත්තේ නැතිනම් අනාගතය පෙර දක්නා නුවණින් යුතු බුද්ධිමතුන්ගෙන්ද පාර්ලිමේන්තුව පිරවිය යුත්තේ යන කරුණ බහුතර ජනතාව වෙත රැගෙන යා යුතුය.

යහපාලන මතවාදය සමග ඉදිරියට යන පිරිස පිළිබඳ විශ්වාසය තැබිය හැක්කේ එහි සිටින එකි නෙකාට අනන්‍ය රටට අවැඩක් නොවන මතවාදී බුද්ධිමතුන්ගේ සාධනීය කාර්යභාරය නිසාය. ඉමිතියාස් බාකීර් මාකාර්, චම්පික, අජිත් පෙරේරා, සුජීව සේනසිංහ වැනි දැනුමින් පොහොසත් කථිකයින් කිසි විටකත් වේදිකා ගානේ ජාතිවාදය වපුරන්නේ නැත. පාඨලී චම්පික රණවක සිංහල බෞද්ධ ඡන්ද පදනම මත සිටියද ඔහුගේ බුද්ධිමත් මත දැක්වීම හරහා මේ අවස්ථාවේදී සිංහල අන්තවාදී අදහස් පැතිරීමක් කිසිසේත්ම සිදු නොවන බව පැහැදිලිය. විශේෂයෙන්ම සිංහල නොවන සෙසු ජාතීන්ගේ කැමැත්ත දිනා ගැනීම සඳහා ඉමිතියාස් බාකීර් මාකාර් මහතාගේ සේවය පක්ෂයට ලබා ගැනීම රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මැතිවරණයේදී ගත් ක්‍රමෝපායික වශයෙන් වැදගත්ම තීන්දුවකි. මීට පෙර දේශපාලනය පිළිබඳ කලකිරීමෙන් මැතිවරණ දේශපාලනයෙන් වියුක්තව සිටියද ඔහු ගේ පැමිණීම යහපත් හෙටක සිහිනය දකින අප සැමගේ අපේක්ෂා මුදුන් පැමිණීමක් වනු ඇත.   

ඛෙත්තාරාම පිටියේ ඊයේ (19) පැවැති ක්‍රිකට් තරගයේදී ඇතිවූ අසික්කිත රණ්ඩුව නිසා රටේ නම කැත වන බව ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍රවූ ශ්‍රී ලාංකික සංගීතවේදී චිත්‍රාල් සෝමපාල තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබිණි. ඊට තම ප්‍රතිචාර දක්වන ශ්‍රී ලාංකිකයෙකු පවසා තිබුනේ ‘‘උඹ කට මෙහේ තියාගෙන පස්ස (ඔහු භාවිත කර තිබුනේ මේ වචනය නොවේ) පිටරට තියාගන්න එපා“ යනුවෙනි. ඊයේ සිදුවූ ආරවුල මාළිගාවත්තේ අන්තවාදී මුස්ලිම් පිරිසකගේ ක්‍රියාවක් බවට එම අදහස් දක්වන්නා ප්‍රකාශ කර තිබිණි. මෙවන් ජාතිවාදී අමන මානසිකත්වයකින් පිරි මිනිසුන් ඉතාමත් ශීඝ්‍රෙයන් පසුගිය රජය සමයේ පොකුරු ගසනු අපි දුටිමු. අලුත්ගම ප්‍රහාරය එහි විශිෂ්ඨතම ප්‍රථිපලයයි. හොඳින් බලන්න එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පිරිස් වලින් බහුතරය දරන්නේද මෙවැනි වෛරී අදහස්ය. අනික් ජාතීන් සමග සමගියෙන් සිටීමක් ගැන ඔවුහු සිහින නොදකිති. ඊට හේතුව ඔවුන්ගේ නායකයින් විසින් වපුරා ඇති මතවාදී මඩ ගොහොරුවයි. එහි පල නෙලා ගන්නට සිදුවන්නේ අපටත් වඩා අනාගතයේ බිහිවන පරපුරට බව මතක් වෙද්දී හද නැගෙන ශෝකය ඉමහත්ය.

යහපත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අප දැකිය යුත්තේ ජාතිවාදී වලි බර සිහින නොව ‘‘බඩ පිරෙන්න කිරි බත් සමග තෝසෙ කා අතුරුපසට වටලප්පන් කන ජාතියේ සිහිනයක්“ය.  
   
විරුද්ධ වාදීන්ගේ කටවල් ගඳ විය හැක. එහෙත් අපි අපටත් ඔවුන්ටත් සුවඳවත් හෙටක් ගොඩ නැංවීම වෙනුවෙන් නිවැරදි මතය තෝරා ගෙන නිවැරදිම තැන සිට ගනිමු. 

Friday, July 3, 2015

අනවසර හොරෙක් වෙන්නද මං







හැඟීමකට කොයින්ද තහනමක්
හාද්දකට කොයින්ද නීතියක්
සුවඳ ආවම පෙති විහිදන මලක්
පිරිමැදුනි සියුමැලිම නිලයක්


වැටක් පැන්නම වෙනවමද පවක්
මලක් දැක්කම ළං නොවී කොහොමද ටිකක්
අරක් අරගෙන සදාචාරෙන් ගොඩක්
මොකක් වෙනවද දුන්නනම් මට ඉඩක්


හාද්දෙන් කම්මුලක් ගිණි ගනීනං
කාන්දම ළං වෙන්න පැකිළෙයි නං
ඉඩහසරකට හිත හදාගන්නම බැරිනං
අනවසර හොරෙක් වෙන්නද මං