Saturday, November 14, 2015

කෝම්පිට්ටු සහ අතිරස ලැබුනෙ පුතේ මෙන්න මෙහෙම


එකෝම එකෝ මත්තෙක කාලෙක ලස්සන ගමක් තිබුනා. ඒ ගමේ කන්දක් මුදුනෙ පුංචි ගෙයක් තිබුනා. ඒ ගෙදර හිටියෙ අම්මයි තාත්තයි අයියයි මල්ලියි. අයියගෙ නම කෝම්පිට්ටුවා. මල්ලිගෙ නම අතිරසයා.

ඔන්න ඉතිං දවසක්දා මේ දෙන්නා සෙල්ලම් ගෙයක් දැම්මා. කැලෙන් කෝටු කපං ඇවිත් පොළොවෙ ඉන්දලා ඒවා උඩට හබරල කොළ දාලා ලස්සන වහලෙකුත් හැදුවා. දැං ඒක ලස්සන සෙල්ලම් ගෙයක්. 
ඊට පස්සෙ සෙල්ලම් කෑම හදමු කියල ඒ දෙන්නත් එක්ක කතා උනා. කෝම්පිට්ටුවගෙයි අතිරසයගෙයි අම්මයි තාත්තයි ගොඩාක් දුප්පත් නිසා සෙල්ලම් කෑම හදන්න සෙල්ලම් පිඟන් කෝප්ප තිබුනෙ නෑ ඒ ගෙදර. ඉතිං ඒ දෙන්නට ගොඩාක් දුක හිතුනා. දුක හිතිල අන්තිමේ අතිරසයා අඬන්න ගත්තා.

හා හා මල්ලි අඬන්න එපා අපි කොහොම හරි සෙල්ලම් කෑම හදමුකෝ කෝම්පිට්ටුවා කිව්වා.
කෝම්පිට්ටුවා කුස්සියට දුවල ගිහිං අම්ම විසිකරපු පොල් කට්ටක් අරං ආවා. අතිරසයා අඬන එක නවත්තලා කෝම්පිට්ටුවා මොකද කරන්නෙ කියලා බලාගෙන ඉඳියා. කෝම්පිට්ටුවා පොල් කට්ටට මිදුලෙ තිබුනු පස් පිරෙව්වා. පස් ටික තද කරල අනිත් පැත්ත හැරෙවේවා. ඊට පස්සෙ පොල්කට්ට ගැලෙව්වා. අතිරසයා මීට කලින් මෙහෙම කෑමක් දැකල තිබුනෙ නෑ.

මොකක්ද අයියෙ මේ සෙල්ලම් කෑම ජාතියෙ නම අතිරසයා ඇහුවා. ඒකට නමක් දන්නෙ නැති නිසා කෝම්පිට්ටුවා ඒකට එයාගෙ නම දැම්මා. 
කෝම්පිට්ටුනෙ මල්ලි මේ 

අම්මටත් අඬගහල අළුත් කෑම ජාතිය පෙන්නුවා. මේ දෙන්නගේ සෙල්ලම දිහා බලං හිටපු අම්මට ගොඩක් දුක හිතුනා. අම්ම කුස්සියට ගියා. ටික වෙලාවකින් වංගෙඩියෙ මොනවද කොටන සද්දයක් කුසියෙන් ආවා. ඊට පස්සෙ තෙල් සුවඳක් ආවා. 

අම්මත් අපි වගේ රස කෑමක් හදනවා ඇති මේ දෙන්නා හිතුවා. ටික වෙලාවකින් පිඟානක අමුතු කෑමක් බෙදාගත්තු අම්මා එතෙන්ට ආවා. ඒක රස කැවිල්ලක්. හරියට ලොකු හූනෙක් වගේ. අම්ම ඒක මල්ලිට දුන්නා.

හරි රසයි අම්මේ. මොනවද මේ අලුත් රස කෑම ජාතිය? මල්ලි අම්මගෙන් ඇහුවා.
කලින් කෑම ජාතියට අපි අයියගෙ නම දාපු නිසා මේ කෑම ජාතියට අපි ඔයාගෙ නම දාමු කියල අම්මා කිව්වා.
ඒ කෑම ජාතියේ නම තමයි අතිරස.

ඉතිං දුවේ පුතේ ඕන්න ඔහොමයි කෝම්පිට්ටු වලටයි අතිරස වලටයි ඔය නම් ලැබුනේ.

Friday, November 13, 2015

කවියක් අරං එන්නද



කවියක් අරං එන්නද
චොකලට් පෙත්තක් වෙනුවට
වැස්සක් අරං එන්නද
රිද්දන්න හිත් කිරි කට්ටට



දුන්නොතින් හාද්දක්
වැටෙනවද අභ්‍යවකාශ වස්තුවක්
තවත් එක කෑල්ලක්
නොවුනු උඹ රිද්දන රිදිල්ලක්



වංගු නැති අධිවේගි පාරට
වෙයන් දහඅට වංගුවක්
ඉමක් මොකටද හිතක හිතුවිලි
සොරොව් සිර කර නැහැ පලක්

Thursday, November 5, 2015

හරියටම උමතු වූයෙමි






නුඹ මුදාහරින පාලනය

හරි බරය මා මතය

ළං වෙන්න වැට උසය

කඩුළු දොර චිරි චිරිය



හරි අමුතු හිතක් ගාව

හරියටම උමතු වූයෙමි

වැරදියට දකීවිද

ලෝකයට තරහ බැඳ ගමි



හැමදාටම මිසක්

බෝඩිමකට ඉඩක් නැද්ද

ගෙදරක දැනෙන සුවය
 
බෝඩිමක දැනෙන්නෙම නැද්ද



දෙපස සුවඳින් මත්ව

දෙපැත්තම බලන්නෙමි

බලන හැම විටකදිම 

නුඹ පරව බිම වැටී



නොකියාම යන්න යැයි

නුඹ පලාවම බෙදයි

කියන්නද එපා යැයි

නුඹෙ පලා හරි රහයි