Wednesday, December 28, 2016

පැටලිලා






හිනාවෙන ඇස් යටත්
ගිණි පුළිඟු තියෙනවා
මරණයේ සුසුම් යට
ජීවිතය අළු ගසනවා

අහිංසක කඩුව අරගෙන
ඇඟිලි මාල ගොතනවා
සමණලෙක් බාඳුරාවක් නෙලං
බඹර පැණි පුරනවා

මග වරදියි මග බලද්දි
වැරදිලාම පේනවා
පිළිවෙලකට යන්න මගක්
නැති වුණාම රිදෙනවා 

Tuesday, November 29, 2016

දළ සහ මල

දිගෑරෙන පෙති සුවඳ දැනුනම
දළය රොන් බිඳු ගන්න හැදුවා
පෙතිත් ඇකිලී ඇකිලි ඉඳලම
මතින් මත්වී හතිත් හැලුවා


උස් හුස්ම වැටුමකින් දිගු නිහැඬියාවකින්
පෙති ඇහැරී නැගිට බැලුවා
දිගෑදී දහඩියෙන් පෙඟී ඇති දළය දැක
දොස් කන්දකින් දමලාම ගැසුවා


තනි අතින් අත්පුඩි ගහන්නද 
දළය පෙත්තෙන් හෙමින් ඇසුවා
මම මලක් නොඉඳුලේ උන්නා
ඉඳුල් දුක ඇයි දුන්නෙ ඇසුවා


තියුණු හිත මත කැපෙන දළ හදවත
හෙමින් රුහිරු බිඳුවකුත් ගැලුවා
දැක දැකත් පෙති නොඉඳුලම ඉල්ලා
දළය විතරක් වැරදි කිව්වා


මලක් දැක්කම දළක් මත් වෙන
එකත් වරදක් පොතෙත් තිබුණා
පොතෙත් තිබුණට හිතෙත් නැති බව
ලතෙත් දළ හද කියා දුන්නා


පිපුණෙ කොතැනද වත්ත කාගෙද
නෙවෙයි සුවඳයි දැණුනෙ දළයට
පෙතිත් හරියට නොදැන වාගෙම
නපුරු කම් විතරමයි දළයට


අහන් උන් පෙති බලන් වැලි කැට
කඳුළු වැලකින් රටා මැව්වා 

Tuesday, August 23, 2016

නාහෙට නාහන සරුංගලේ




මටත් ඉන්නව සරුංගලයක්
යන්නෙ කොහිදැයි දන්නැතී
කියන දේකුත් අහන්නත් බැරි
සුළි සුළං මඳ සුළං මැද අතරමං වෙවි

ඇඬුවොත් දියවෙයි හිතන්නත් බැරි
කඳුළු ඔසුවකි හිතාගෙන ඇති
මටත් ඉන්නව සරුංගලයක්
වලිග අග මස්තිෂ්ක ඇබිත්තක් ඇති

නූල වී මම වෙර බදමි
කඩාගෙන යන්නට නොදෙමි
අදින අත් හරි ගොරහැඩි
උඩ යනව නං හරි වැඩි

උඩු හුළඟ දැන් ළඟ ඇතී
මම පොළොවටම එනු ඇතී
උඹ නොපෙනීම යනු ඇතී
සව් කොළ සුවඳ මිහිරැතී

ජීවිතෙත් රැල්ලකී
කඳුත් පල්ලම් බොහොමෙකී
සරුංගල හිතැත්තී
පොළොව රිදුනත් සැප ඇතී

මටත් තියෙනව සරුංගලයක්
හිතත් සුළඟට ගසාගෙන ගිය
හුඟක් කිව්වත් අහන්නෙත් නැති
නූල් හදවත දකින්නෙත් නැති

හුළං යනු හදවත් නැතිකමක් වෙන්නැති
සරුංගල ඒ වගක් දන්නැති
උඩු හුළඟ දැන් ළඟ ඇතී
එක කරණමට ඉරණම ගත හැකී


උඹ වරෙං පහළට
වෙරත් නැහැ මට

Wednesday, August 10, 2016

ප්‍රතික්ෂේපිත වේදනාව

කොළඹ උරිස්සේ ඔලුව අැන ඇන
අඬන ගාලු මුවදොර සාරි රැළි රළ
දැවී අළු වෙන හිතත් එක්කම
රත්තරං දළු කොටෙන් කොට ෆිල්ටර


ප්‍රතික්ෂේපිත වේදනාවක ඇඹරෙන සියොළඟම
හිස් තැනට හුළඟ පුරවන බංකුව
බංකු ඇන්දේ දිග ඇරං වං අත
හුළං පිට අත ගාමි සොඳුර ඔහොමම ඉන්න


මං මුලා කරවන වැල් පාග පාගම
කටු ඇණුනු හිත් අඩිය කටු ගලව ගලවම
නටුම වුනු පිරිමිකම නපුංසකවම රැකගෙන
ගාලු මුවදොර සුළඟ පපුව ඇතුළට වදින


බඹර සැර හොය හොය
අමර සැපයම යදින
බයද හිරිකිත සමණළ දළට
හුළඟ කියපං ගිහිං මගෙ දුක


බැහැගෙන ගියත් ඉර
කළු වෙන්න දෙන්නැති වරාය නගර එළි සැර
ඕන නැතිවැති කළුවටම හිත ඇති
ඕන නං කියතහැකි එළිය නිවුවට මං ළඟ

Tuesday, August 9, 2016

හරි වැඩක් කරනවා නෑවිත් ගියොත් ආයෙම





කිරි සුවඳ කිරි හීන

හිරි වැටිල තුන් හිතම

හරි වැඩක් කරනවා
 
නෑවිත් ගියොත් ආයෙම



හැංගි මුත්තං නොකර සෙල්ලං

පෙනීයං ඇවිදින් විගහිං

නොනින්දේ ඇස් ඇහැරගෙන

අම්ම දකින හීන කන්ද




කිරි සුවඳ අස්සෙන් චූ සුවඳ ආවම

විලවුනුත් සුවඳද පුතේ උඹ දන්නැද්ද

නිදිමරන සැප හොයන උඹ එක්ක

පෙළහරක් පාගෙන එන දවස ළඟ නේද





Sunday, July 3, 2016

ඇයි ඇවිත් ගියෙ රාහුල


ඉඩ මදිද ගැබ් පෙළහරට
හිත නැද්ද මේ සුදොවුන්ට
දුක නං තමයි හදපු ගිහි ගෙයම
ඇයි ඇවිත් ගියෙ රාහුල

අම්මත් තරහ මං එක්ක
දෙවියොත් බැලූවෙම අහක
කවුද අකමැති කිරි සුවඳකට
ඇයි ඇවිත් ගියෙ රාහුල

සංසාරෙ හැටි කියන්නද
පිංපාරෙ මං යවන්නද
හීන කඳු නාය යවන්නද
ඇයි ඇවිත් ගියෙ රාහුල

Sunday, May 29, 2016

උඹලාගේ හොඳ හිත් හන්දා - පොඩි උන් වෙසක් කූඩුත් බැන්දා


සුමිත් කලණසිරි නැත්නම් අපේ (කල්‍යාණමිත්‍ර) කමියා මං ඇස් දෙකට දැකල නෑ - හැබැයි අපි බ්ලොග් ලෝකෙත් ෆේස් බුක් එකෙත් යාළු මිත්‍රයො. මං දැක්ක දවසක් කමියා මොණරාගල පැත්තෙ ඉස්කෝලෙකට වතුර පහසුකම් අරං දෙන්න යාළුවො සැට් එකකුත් එක්ක කරපු වැඩක් ගැන බ්ලොග් පෝස්ට් එකක්.

කකුලත් කඩාගෙන රස්සාවත් නැතිකරගෙන ගෙදරට වෙලා ඉද්දි ඒ වගේ විස්තර අහද්දි ඒවට සහභාගිවෙන්න බැරි බව දැනෙද්දි දුකක් මිසක් වෙන අහවල් එකක් දැනෙන්නද?

පිට යන එක ජම්ම ගතිය වගේ කතාවත් පිට යන්න දෙන්න බෑ. කමියගෙන් පටන් ගත්ත කතාවෙ මුල මේකයි.

ඌරගොඩ කණිෂ්ඨ විද්‍යාලය පිහිටල තියෙන්නෙ කළුතර දිස්ත්‍රික්කෙ අගලවත්ත ආසනයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙ ඌරගොඩ කියන ගමේ. මේ ඉස්කොලෙ අවුරුදු සීයකට කිට්ටු ඉතිහාසයක් තියෙන පරණ ඉස්කෝ‍ලෙයක්. හැබැයි පටන් ගත්තා වගේම හරි අපූරුවට කිසිම සංවර්ධනයක් නැතුව තිබිල අන්තිමේ අවුරුදු 15කට විතර කලින් වහල දැම්මා.

ගමේ මිනිස්සුන්ට මේනියාවක් තියෙනවනෙ නගරෙ ඉස්කෝලෙකට තමංගෙ ළමයව දාගන්න. ඒ වගේම ගුරුවරුන්ටත් මේනියාවක් තියෙනවනෙ තමංගෙ ගේ කිට්ටුව තියෙන ඉස්කෝලෙට ඇවිත් ආතල් එකේ ඉන්ටර්වල් ගන්න. ඔන්න ඔය සන්තෑසියමයි මේ ඉස්කෝලෙට වුනේ. අම්මලා තාත්තලා පගාව දීලා හරි නගරෙ ඉස්කෝලෙට නැත්තම් ඌරගොඩ ගමට හැතැප්ම ගාණක් එහා තියෙන වලගෙදර මහා විද්‍යාලෙට ළමයි දැම්මා. ඒ වගේම ගමේ සහ ගමට ආසන්න ගම්වල ගුරුවරු ගුරුවරියො ටික (අද කාලෙ නම් ළමයි උගන්නයි උන්ට - කැකිරි පිපිඤ්ඤා වගේ) මේ ඉස්කෝලෙට ආවා. ළමයි අඩු වුනා ගුරුවරු වැඩි වුනා. ඉගෙන ගන්නවා වෙනුවට හිටපු ළමයි එකා දෙන්නත් ගුරුවරුන්ට ටොයිලට් යන්න වතුර අදින්නයි ගුරුවරුන්ගේ ගෙවල් වලට ගිහිං තේ බෝතල් ගේන්නයි පටන් ගත්තා. අන්තිමේ ඉස්කෝලෙ වැහුවා.

ඌරගොඩ ගමට ප්‍රවාහන පහසුකම් හරිම අඩුයි. ගම හරහා බස් දෙකක් දවසට තුන්පාරක් යනවා සමහර දාට බස් දෙකම නෑ. පාසල් වෑන් රථ වලින් මතුගම ටවුමට ළමයෙක් යවන්න මාසෙට රුපියල් දෙදා‍හක් විතර ගන්නවා. ගමේ වහල තියෙන ඉස්කෝලෙ දිහා බල බල ළමයි මතුගම ටවුමට ඉස්කෝලෙ ගියා.

හැබැයි කැක්කුමයි ඇම්මයි කලවම් වුන මිනිස්සු කීප දෙනක්ට මේ ඉස්කෝලෙ ආයෙමත් පටං ගන්න හීනයක් ආවා. උන් ටික දේශපාලකයෝ පස්සෙයි අධ්‍යාපන කන්තෝරු ගානෙයි ගාට ගාට මේ ඉස්කෝලෙ ආයෙමත් විවෘත කරල දෙන්න කියල ඉහළ තැන්වලට ඇවිටිලි කරා. මුල් කාලෙ හැමෝම කිව්වෙ ඕක හරියන් නෑ කියලයි.

කම්මැලි නිලධාරියො අතරෙ හොඳ මිනිස්සු එකෙක් දෙන්නෙක් හරි ඉන්න හින්දා කොහොම හරි ඉස්කෝලෙ පටන් ගන්න තැනට වැඩ යෙදුනා. අර කැක්කුම්කාරයො ටික තමන්ගෙ අතිං වියදං කරගෙන ඉස්කොලේ ගරා වැටෙන්න ගිය ගොඩනැගිලි දෙකෙං එකක් ගොඩගන්න උත්සාහ කරා. සමර ගෑවා බිත්තිවල ඇයි ඉස්කෝලෙ වත්ත පුරා වැවිල තිබුනෙ කැලේ කපල පිරිසිදුත් කරා.

මේ උත්සාහය ආරංචි වුන ජර්මනියෙ සුදු මහත්තයෙකුයි බේරුවල මුස්ලිම් සහෝදර පිරිසකුයි ඉස්කෝලෙට උදව් කරා. මුස්ලිම් සහෝදර පිරිස ළිඳක් කපල දුන්නා පොඩි උන්ට වතුර බොන්න. සුදු මහත්තයා පොත්පත් වතුර ටැංකියක් වගේ දේවල් දුන්නා. කොහොම හරි ඉස්කෝලෙ ආයෙම පටන් ගත්තා. නගරෙට ඉස්කෝලෙ ගිය පොඩි උන් එකා දෙන්නා ආයෙමත් ගමේ ඉස්කෝලෙට ආවා. ප්‍රාථමික විද්‍යාලයක් විදියට එක වසර විතරක් පටන් ගත්තට මොකෝ ටික දවසක් යද්දි දෙමාපියෝ දෙක වසරකුත් ඉල්ලන්න ගත්තා. දැන් එක වසරෙයි දෙකවසරෙයි ළමයි විස්සකට වඩා ඉන්නවා. ප්‍රින්සිපල් සර් කෙනෙකුයි මිස්ලා දෙන්නෙකුයි ලැබිලා පොඩි උන් උනන්දුවෙන් අකුරු කරනවා දකින්න ආසයි.

මේ පිංතූර වලින් පේන්නෙ ජර්මන් සුදු මහත්තයා (ක්ලවුස් ලින්ඩමන්)

හැම ගමකම මේ වගේ මේ කියන ඌරගොඩ ගමෙත් හැම දේශපාන පක්ෂෙකම ආධාරකාරයො ඉන්නවා. හැබැයි කියන්න කණගාටුයි ඒ හැමකෙනෙක්ම වගේ තමංගෙ ගමේ වැහුණු ඉස්කෝලෙ ආයෙ පටන්ගන්න එක වෙනුවෙන් එක දහඩිය බිංදුවක් හෙලුවෙ නෑ. ගමේ ඉස්කෝලෙයක් දැම්මම ළමයව නගරෙ පොෂ් ඉස්කෝලෙකට දාගන්න අමාරු වෙන හන්දා වෙන්න ඇති.

ඉතිං මෙහෙම පටන් ගත්තු ඉස්කෝලෙට කරන්ට් එක තිබුනා නම් මේ පොඩි උන් ටිකට තවත් හොඳින් අධ්‍යාපනයක් ලබන්න පුළුවන් බව වැඩේට මහන්සි වුනු අයට තේරුණා. ඉස්කෝලෙට ලයිට් ගන්න ආධාර ඉල්ලලා මේ අය ගොඩක් තැන්වලට ගියත් වැඩක් වුනේ නෑ.

අලුතින් ආපු ඉංග්‍රීසි මිස් හරිම කැපවීමෙන් ඉංග්‍රීසි කියා දෙනවා‍ ළමයිව හවසත් නවත්තගෙන. මිස්ගෙ ලැප්ටොප් එක දාලා පාඩම් කියා දෙද්දි බැට්රිය ඕෆ් උනාම පාඩමත් ඕෆ් වෙනවා. මිස්ටත් දුකයි ළමයින්ටත් දුකයි. අම්මල තාත්තලටත් දුකයි. ඒක අහපු මටත් දුකයි. ඒත් මං ලයිට් අරං දෙන්නයැ. ජොබකුත් නැතුව අතේ සතේ නැතුව හිරවෙලා ඉන්න වෙලාවෙ.

මම නිකමට වගේ කමියට කිව්වා මචං මෙහෙම වැඩක් තියෙනවා කරන්න පුළුවන් උදව්වක් උඹේ යාළුවො සෙට් එකට කියල කරමුද කියලා? කමියා පරණ මිලිටරි පුරුද්දටද මන්දා එක පාරම 'හා' කිව්වා. කමියට මම විස්තර අරං දුන්නා. කමිය ඊමේල් එකක් යාළුවො හැමෝටම කොපි කරලා පණිවිඩේ දුන්නා.

යකෝ මෙහෙමත් හොඳ මිනිස්සු ලෝකෙ ඉන්නවද? විශේෂයෙන්ම මේ දූපතේ ඉන්නවද? කට්ටිය හෝ ගාල මොකද වෙන්න ඕනෙ කියල අහන්න ගත්තා. කමියගෙ උපදෙස් අනුව මම වයරින් බාස් කෙනෙක් ගෙන් එස්ටිමේට් එකක් ගත්තා. බඩු ටිකට දාහත්දාස් පන්සීයක් යනව. කමිය කිව්වා මචෝ ගමක වැඩක් හන්දා ලෙඩ අදින්න බලන් ඉන්න උන් වැඩියි උපරිම පාරදෘශ්‍යභාවයකින් වැඩේ කරපං කියලා.
(මේ තියෙන්නෙ හාඩ්වෙයාර් එකෙන් දුන්නු බිල් එක)

මේ බිල් එක ඊමේල් සංවාදෙට ශෙයාර් කරාම දුෂාන් කරවිට සහෝදරයා රුපියල් විසිදාහක් දැම්මා මගේ එකවුන්ට් එකට. මම ඒ සල්ලි ටික ප්‍රින්සිපල් සර්ට දුන්නා තව දෙද‍ාස් ගාණක් ඉතුරුයිනෙ. ඒ සල්ලි වලින් වයරින් එක කරා. ගමේ කොල්ලො දෙන්නෙක් ස්වේච්ඡාවෙන්ම වයරින් එක කරල දුන්නා.  

කමියගෙ වැඩපොලේම වැඩකරන අපි වගේම බ්ලොග් ලියන මේ වැඩේ හන්දම අඳුර ගත්තු (මං ගිය ඉස්කෝලෙම දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක් වුන) කැළුම් ප්‍රසාද් ජයසූරිය හෙවත් ලොකුපුතා විදුලි බල මණ්ඩලේට කතාකරල සප්ලයි අරං දෙන වැඩේ ඉක්මන් කරා. 

දුෂාන් කරවිට සහෝදරයගෙ ඉතිරි රුපියල් දෙද‍ාස් ගාණට තව හුඟක් අය එක්කහු වෙලා ඉතිරි සල්ලි දුන්නා. මට නම් වශයෙන් මතක නෑ ( කමියා කමෙන්ට් එකකින් කට්ටි‍යගෙම නම් කියපං මචං මතකනම්). ඒ සල්ලි දාලා සප්ලයි එකට සල්ලි බැන්දා. ඔක්කොටම රුපියල් තිස්අටදාස් ගාණක් ගියා. වයරින් එකට දාහත් දාස් දෙසිය ගාණයි (හාඩ්වෙයාර් එකේ මල්ලි රුපියල් දෙසිය ගාණක් අඩුකරා ඉස්කෝලෙ වැඩේ කියල). සප්ලයි ගන්න විසිඑක්දාහයි.

මං වෙසක් දවසෙ රෑ ඉස්කෝලෙට ගියා. ඇස්වලට කඳුළු එනවා උඹලගේ හිත් හොඳකම දැකලා. පොඩි උන් හැමතැනම වෙසක් කූඩු එල්ලලා. ඒවට බල්බ් දාලා බලන්න ආසයි. උඹල කොයිතරම් හොඳ පපුද? උඹලව ආස්සරේට හම්බවුන එක ජීවිතේ කොයිතරම් වාසනාවක්ද මම පාළු ඉස්කෝලෙ සාලාවෙ ඉඳගෙන හිතුවා. මේ පොඩි උන් දවසක රටට වැඩදායක ලොකු මිනිස්සු වෙයි. එදාට උඹලාගෙ නිහඬ සේවයට තවත් අගය ලැබේවි. 

නරකයො ටිකක් හන්දා දූපතක් වුනාට උඹලගෙ හොඳ ‍කඳු ගහන්න පුළුවන් කමට මේ ලංකාව මහද්වීපයක්. 

මම ඉස්කෝලෙ පිංතූර ටිකක් ගත්තා .








මේ පල්ලෙහා පිංතූරෙ තියෙන්නෙ අනික් හෝල් එක. ඉස්කෝලෙ ටික ටික දියුණු වෙද්දි ඒ හෝල් එකත් හැදිල එයි. තව ගොඩනැගිලි හැදෙයි. එදාට අපේ නම් කියවුනේ නැතිවට කමක් නෑ ඒවා කියවෙනවට උඹල කැමතිත් නැති බව මං දන්නවා. ප්‍රින්සිපල් අහනවා ලයිට් අරං දුන්න මහත්තුරුංගෙ සංවිධානෙ නම මොකක්ද කියලා. මම කිව්වා සර් එහෙම නමක් නෑ සමහර විට එතන සමහර අය හැබැහින් එයාලව දැකලත් නැතුව ඇති කියලා. 

කමියට මේ ටිකේ ටිකක් වැඩ අධික බව කිව්වා. ලොකු පුතත් එහෙමලු. කමියො ලොකු පුතේ අපි නෙළුම් යායෙ තවත් අය සෙට් කරගෙන වෙලාවක ඉස්කෝලෙ පැත්තෙ ගිහිං එමු. දැන් ඉංග්‍රීසි මිස් බැට්රිය බහින් නැතුව ලැප්ටොප් එකෙන් චිත්‍ර අඳින්නත් කියා දෙනවලු පොඩි උන්ට. 

ඔ... බ ... ට ... ස... තු.. ටු...යි....ද .... දැන්.....? ඔව්  සතුටුයි දුවේ පු‍තේ උඹල ඉගෙන ගනිල්ලා. ඉගෙන ගන්න දේ හොරුංට ගන්න බෑ. රටට වැඩදායක මිනිස්සු වෙයල්ලා. එදාට ඉස්කෝලෙට එළිය ගෙනාපු මේ පෝස්ට් එක ලියන මාමගේ යාළු මාමාල නැන්දලට ගොඩක් පිං ලැබෙයි.

Sunday, April 24, 2016

හැඩි කරං හිත

 
 
 
හැඩි කරං හිත
වක්කරං ඇස් ලුණු වතුර
කඩං නූලත් සරුංගල් ජීවිතය
විහිං අපායේ දොර ඇරගෙන

විරිතක් ඕනෙමද කවියකට
ළිඟුවක් ඕනෙමද යෝනියට
වියතක් තරම් නැති ලෝකයක
අගුළුත් කඩං ඇහැරෙන්න

ඈතින් ඉඳන් එළි අල්ලමි
පාරත් හොයං නුඹ යනු ඇති
ඒකත් හීනයක් ‍නොවනු ඇති
හුස්මත් එක්ක සෙල්ලම් හොඳ නැති

දාහක් රහස් කියලත්
තාමත් බරද ඔලුවත්
තේරුම් ගන්න බැරුවත්
තේරුම හොයන තවමත්

Sunday, March 27, 2016

හිතුනොතිං මෙතැනට එමූ

අහසක් නොවෙයි නුඹ
එකම එක අහසක එකම එක හෙණයකි
පොළොවක් නොවෙයි නුඹ
එකම එක පොළොවක එකම එක වැලි කැටයකි

මා දුටුව විසල් සිහින
වැසි බවට පත්වී ඇද වැටෙයි
තෙමාගෙන මාවම

ප්‍රේමයම හෙණයකි
පාත්වෙන පපුවට
හරියටම කිව්වොත්
නුඹ හිස තියාගත් තැනටම

ගැබ්බර කරන්නට හිතූවත්
මගේ ලේ කළලයක්
උඹට දොළ දුක හැදුනෙ
කන්නමයි අන්නාසි ගැටයක්

කේන්තිය පවුකාරයි
කේන්තිය මට කෝඩුකාරයි
මධුසමය අහවරයි
දැන් ඉතිං පෑවිල්ල ඇරඹෙයි

සිහිල මට දැනුනු
දිය බිඳිති උනපූ
වේළිලා යයි දැං
හිතුවිලි හිතට ගලපූ

ආදරය සාමුහික ගොවිපොලකී
අස්වැන්න කෑමට පමණී
විකුණලා සල්ලිත් අවැසී
නුඹ ඇත්තටම සුභසාධන රජයකී

හරි කෙලිං මාවත් විහිදුනූ
හංදියකි අපි නැවතුනූ
දැං ඉතිං වෙන්වෙමූ
හිතුනොතිං මෙතැනට එමූ




අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි

Thursday, March 3, 2016

‍ඔසප් දුක දන්න මුරුගා



මේ කියන්න යන කතාවේ ආරම්භය 1998 වර්ෂය වෙනකම් ඈතට යනවා. අරුණාචලම් මුරුගනාදම් කියන්නේ දකුණු ඉන්දියාවේ අත්යන්ත්‍ර පේෂකර්ම නිර්මාණකරණය ජීවිකාව කරගත් දුප්පත් මවකටත් පියෙකුටත් දාව උපන් දරුවෙක්. තමන්ගේ අළුත ගෙනා මනමාලිය නැතිනම් බිරිඳ ඇගේ ඔසප් දිනවලදී සනීපාරක්ෂක තුවා වෙනුවට භාවිතා කරන්නේ පරණ රෙදි කැබලි නැත්නම් පාංකඩ බව මුරුගනාදම් දැන ගන්නවා. සනීපාරක්ෂක තුවා වෙනුවෙන් වැය කරන මුදලින් කෑමට දෙයක් ගැනීම වටින තත්ත්වයකයි ඔවුන් ජීවත් වුනේ. කොහොම වුනත් මුරුගා මේ සිදුවීමෙන් බලවත් සිත්තැවුලට පත්වෙනවා. මුදල් අගහිඟකම නිසා තම බිරිඳ ඔසප් දිනවල පරණ රෙදි කෑලි පාවිච්චි කිරීම ගැන ඔහු බොහෝ කලකිරෙනවා. මේ ගැන හිතල හිතල අන්තිමේ තවත් ටිකක් හිතන මුරුගා තමන්ගෙ බිරිඳට පාවිචිචි කරන්න සනීපාරක්ෂක තුවා තම අතින්ම නිර්මාණය කරන්න හිතනවා. මුලින් ඒක හරිම සරල දෙයක් විදියටයි ඔහු කල්පනා කරේ. කපු රෙදි රෝලක් අරං එන මුරුගා ඒක කැබලි වලට කපනවා. කඩවල්වල විකුණන්න තියෙන සනීපාරක්ෂක තුවායන්ගේ ප්‍රමාණයට ඒ කපු රෙදි කැබලි කරගන්න මුරුගා පසුව ඒ කැබලි වටේට තවත් හීනි කපු රෙදි ලේයරයක් ඔතනවා. තමන්ගෙ අතින් ගෙදරදී නිපදවපු මේ සනීපාරක්ෂක තුවාය තම බිරිඳ අතට දෙන මුරුගා ඇගෙන් ඉල්ලන්නේ ඔසප් දිනවල එය භාවිතා කර බලන ලෙසයි. ඇය එය භාවිතා කරනවා. නමුත් මුරුගාගේ හිත සැනසෙන ප්‍රතිචාරයක් නම් ලැබුනෙ නෑ. මේක වැඩකට ඇති එකක් නොවයි මීට වඩා පරණ රෙදි කෑලි තියා ගන්න එක හොඳයි වගේ අදහසක් තමයි මුරුගාගේ බිරිඳගෙන් පිටවුනේ. 

මුරුගාට වැරදුනේ කොතනද? කඩේ විකුණන්න තියෙන සනීපාරක්ෂක තුවායෙ සහ ඔහු හදපු සනීපාරක්ෂක තුවායෙ වෙනස මොකක්ද ? මුරුගා කල්පනා කරා. කලින් භාවිතා කරපු ද්‍රව්‍යයන්ට වඩා වෙනස් ද්‍රව්‍ය යොදාගෙන අලුතික් තව සනීපාරක්ෂත තුවා හදන්න මුරුගා කටයුතු කරා. හැබැයි මුරුගට ප්‍රශ්නයක් ආවා ඒ හැම වෙලාවෙම. අලුත් සනීපාරක්ෂක තුවායක් හදන හැම වෙලේම ඒක පරීක්ෂා කරන්න තමන්ගෙ බිරිඳට ඔසප් හැදෙනකම් බලන් ඉන්න සිදුවුනා මුරුගාට. ඊළඟට මුරුගා කරේ මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න ඉන්නෙ කවුද කියල හොයල බලපු එක. මුරුගට ආපහු හැරෙන හිතක් තිබුනෙ නෑ. ඔහුගෙ ගම ආසන්නයේ තිබුනු වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න සිසුවියන් හමුවුන මුරුගා තමන්ගෙ පරීක්ෂණයට සහයෝගය දක්වන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. ඔවුන්ගෙන් සමහරු ඇත්තටම මුරුගාගේ සනීපාරක්ෂක තුවා භාවිතා කර පරීක්ෂා කරල තිබුනා. ඒත් ඉන් හුඟ දෙනෙක් මේ ගැන ඇත්තම ප්‍රතිචාර කියන්න මැලි වුනා. විකල්පයක් නොමැති තැන මුරුගා තීරණය කරා තමන් විසින්ම මේ නිපැයුම පරීක්ෂා කර බලන්න. ඔහු අවට පරිසරයෙන් හොයාගත් රබර් යොදාගෙන කෘත්‍රීම ගර්භාෂයක් නිර්මාණය කරා. එම කෘත්‍රීම ගර්භාෂයට සත්ව රුධිරය පුරවා ඔහුගේ උකුල ආසන්නයේ රඳවා ගත්තා. තමන් නිපදවපු සනීපාරක්ෂක තුවායක් තම යට ඇඳුම ඇතුලින් හරියට කාන්තාවො පළඳින විදියටම මුරුගා තියාගත්තා. එතකොට ඒ කෘත්‍රීම ගර්භාෂයේ ඉඳන් බටයක් දිගේ සත්ව රුධිරය ඒ සනීපාරක්ෂක තුවායට එන විදියට මුරුගා සකස් කරගත්තා. ඒ ගර්භාෂය මිරිකන වෙලාවට කාන්තාවන්ගෙ ගර්භාෂයේ ඉඳන් රැධිරය යෝනි මාර්ගය දිගේ එනවා වගේ පහළට ගලං ආවා.

අවාසනාවට ඒ පරීක්ෂාවත් හරිගියේ නෑ. මුරුගගේ ඇඳුම් වල සත්ව රුධිරය තැවරිලා පිළී ගඳ එන්න පටන් ගත්තා.  මුරුගාගෙ ඇඳුම්වල ලේ පැල්ලම් දැක්ක අසල් වැසියො හිතුවේ මුරුගා අසනීපයකින් පෙළෙනවා එහෙමත් නැත්තම් කිසියම් කාම විකෘතියකින් පෙළෙනවා කියලයි. මේ කටකතා නිතරම අහන් ඉන්න මුරුගාගේ බිරිඳ කැමති වුනේ නෑ. ඇය ඔහුව අත හැර ඇගේ මව ළඟට ගියා. බිරිඳ ඔහුව හැර ගිහිං දින 20කින් දික්කසාදය ඉල්ලා නීතීඥයෙකු හරහා එවන ලිපියක් ඔහු අතට ලැබුනා. තම මහන්සියට ලද පළමු ඇගයීම එය ලෙසයි මුරුගා සැලකුවේ.

ඒත් මුරුගා නෙවෙයි නැවතුනේ. මේ හැම අපහාසයක්ම විඳ දරාගෙන මේ දේ කරන්නේ ඉන්දියාවේ සමස්ථ දුප්පත් කාන්තා සංහතියේම යහපතට බව මුරුගා දැනගෙන උන්නා. මේ සමීක්ෂණ අතර තුර මුරුගා දැනගත්තා සියයට දහය සහ සියයට විස්ස අතර ඉන්දීය ගැහැණු ළමුන් සහ වැඩිහිටි කාන්තාවන් ප්‍රමාණයක් පමණයි නිවැරදි සනීපාරක්ෂක තුවා භාවිතා කරන්නෙ ‍කියලා. මුරුගාට අවශ්‍ය වුනේ තම රටේ කාන්තාවන්ට අඩු මිලකට මිලදී ගන්න පුළුවන් වඩාත් නිවැරදි සනීපාරක්ෂාවකින් යුක්ත සනීපාරක්ෂක තුවායක් නිර්මාණය කිරීමට පමණයි. 

මෙහෙම අවුරුදු දෙකක් ගතවෙද්දි මුරුගා හරිම අමුද්‍රව්‍ය හොයා ගත්තා. අවුරුදු හතරක් ගතවෙන කොට ඉතාමත් පහසුවෙන් නිවැරදි සනීපාරක්ෂාවකින් යුක්ත සනීපාරක්ෂක තුවා අඩු මිලට නිපදවන්න පුළුවන් යන්ත්‍රයක් නිර්මාණය කරන්න මුරුගා සමත් වුනා. පිටරටින් ආනයනය කරන සනීපාරක්ෂක තුවා නිපදවන යන්ත්‍රයක් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක් පමණ වෙද්දි මුරුගා නිපදවූ යන්ත්‍රයක මිල වුනේ ඇමෙරිකානු ඩොලර් 950ක් පමණයි.  දැන් කාන්තා සංවිධාන හෝ පාසල්වලට මුරුගාගේ මෙම යන්ත්‍ර මිලදී ගෙන තමන්ටම සනීපාරක්ෂක තුවා නිපදවාගන්නටත් අතිරික්තය අලෙවි කරන්නත් පුළුවන්. මුරුගාගේ සොයාගැනීම නිසා ඉන්දියාවේ ග්‍රාමීය පෙදෙස්වල කාන්තාවන්ට ස්වයං රැකියා අවස්ථා උදාවුනා. ඇත්තටම මුරුගා කළේ හැබෑම විප්ලවයක් ඒක දැවැන්ත වෙනසක්. ඒ වගේම සේවයක්. මේවන විට ඉන්දියාවේ ප්‍රාන්ත 27ක මුරුගාගේ සනීපාරක්ෂක තුවා නිපදවන යන්ත්‍ර 1300ක් විකිණී තිබෙනවා. ඒ වගේම මේ යන්ත්‍ර විදෙස් රටවලට අපනයනය කිරීමත් පසුගියදා ආරම්භ වුනා. 

ඉන්දියාවේ පාසල් යන වයසේ ගැහැණු ළමුන් පස් දෙනෙකුගෙන් අයෙක් ඔසප් දිනවල පාසල් යන්නේ නෑ. ඒ වගේම ඉන්දියානු කාන්තාවන් මිලියන 300ක් ඔසප් දිනවලදී සනීපාරක්ෂාවෙන් යුක්ත නිවැරදි සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමේ අපහසුතාවන්ගෙන් පෙලෙනවා. 

මුරුගාගේ බිරිඳ ශාන්ති තමන් හැරදා ආපු සැමියාගේ දස්කම් මාධ්‍යයෙන් දකින්නේ මේ අතරයි. ඔහු මනුෂ්‍ය වෙසින් ඉන්න දෙවියෙක් කියල ඇයට හිතෙන්නෙ එතකොටයි. සැමියාට දුරකථන ඇමතුමක් ගන්න ශාන්ති ඇගේ වරදට සමාව ඉල්ලන්න පැකිලෙන්නෙ නෑ. දැන් මුරුගයි ශාන්තිය ඉතාම ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා.  

අදවන විට මුරුගා කියන්නේ මුළු ඉන්දියාවේම නම රඳවපු කීර්තිමත් සමාජයීය ව්‍යවසායකයෙක්. ඒ වගේම 2014 වර්ෂයේදී ටයිම් සඟරාව විසින් ලෝකයේ වඩාත්ම බලපෑම් සහගත පුද්ගලයින් 100 දෙනා අතරට මුරුගාවත් තෝරනු ලැබුවා. 

සමාගම් කිපයක්ම මේ යන්ත්‍රයේ පේටන්ට් හිමිකම් විශාල මිලකට ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප කළ මුරුගා කාන්තා ප්‍රජාවේ යහපතට පමණක් එය යොදවන්න තීරණය කරා. 




(පරිවර්ථනය සඳහා උපුටා ගැනීම ‍අල්ජසීරා වෙබ් අඩවියෙන් ඉංග්‍රීසි ලිපිය පලවී තිබුනේ මෙතන)