Monday, July 3, 2017

කොළඹ



මේ කොළඹට අපි තාමත් ආගන්තුකයි. ඒ හැඟීම මගේ හිත හැම තිස්සෙම කිචි කවනවා. කොළඹ... ඔව් කොළඹ තමයි අපි ජීවිතේ හෙව්ව සහ අපිට ජීවිතේ කිව්ව හරි අපූරු නගරය. සමහරු ගෙන්දගම් පොළොව කිව්වට මට නම් ඒක අමු කොළඹම තමයි හැමදාම. මට  අනුව කොළඹ කියන්නේ කාඩ සහ පොෂ් දෙපැත්තෙම මිශ්‍රණයක්.

මට මතක් වෙනවා කොළඹ ආපු පළවෙනි දවස. මතුගමින් පාන්දර කොළඹ බස් එකට නැග්ගෙ කොළඹ කැම්පස් එකේ ඉංග්‍රීසි ඩිප්ලෝමා කෝස් එකේ ප්‍රවේශ විභාගය ලියන්න එන්න. ඒ වෙද්දි වයස විස්සක් වුණාට තනියෙං පානදුරේට වත් ඇවිත් තිබ්බෙ නෑ. හොඳ වෙලාවට බස් එකේ ඉන්නවා පංතියේ යාළුවෙක්.

“ආ මචං ... කොහේද යන්නේ?”
“කොළඹ යනව ම‍චං”. දැං නං කොළඹ නග‍රෙ කොටස් දා හතරින් එකින් එක කියන්න පුළුවන් වුණාට ඉස්සර අපි ‍නුගේගොඩ මහරගම පැත්තට ගියත් කියන්නෙ කොළඹ යනවා කියලා. හොඳ වෙලාවට යාළුවත් යන්නෙ මං යන එග්සෑම් එකටමයි. බම්බලපිටියෙන් බහිමු කියල යාළුව මට මගදිම කිව්වා. අද නම් මතුගමින් නැග්ග වෙලේ ඉඳල නින්ද ගියත් මුල් දවස් වල බහින තැන වරදියි කියල බයටම බස්වල නින්ද යන්නෙ නෑ.

ඔන්න කොහොම හරි දෙහිවල පාස් වුණා. වැල්ලවත්ත කියල තියෙන කඩවල බෝඩ් ටික පාස් වුණා. මෙන්න බම්බලපිටිය කියල තියෙන බෝඩ් මතුවෙන්න ගත්තා. මං යාළුවව බැලුවෙත් නෑ. දඩිබිඩි ගාල නැගිටලා බෙල් එක ගහල බැස්ස. බහිද්දි මං දැක්කා යාළුවා ඉස්සරහ ෆුට් බෝඩ් එකේ ඉඳං ඔළුවෙ අත ගහගන්නවා. බැලින්නං මං බැහැල තියෙන්නෙ ‍බම්බලපිටිය පටං ගන්න හරියෙ. බහින්න ඕනෙ බම්බලපිටියෙ හංදියෙනෙ. ඉතිං මං තව හෝල්ට් දෙකක් හංදියට පයිං ගියා.

ඔය මං ගැන කතාව විතරයි. හැබැයි ඔය වගේ කතන්දර තව ඕනෙ තරම් මේ රටේ හතර දිග් භාගෙම විසිරිලා ඇති. ‍පාරවල් වරද්ද වරද්ද කොළඹ ඇවිත් කොළඹ ගම කරගත්ත අය ඕනෙ තරම් ඉන්නවා. ඒ වගේ මිත්‍රයෙක්ගෙ ඇත්ත කතාවක් නොකියම ඉන්න බෑ.

ඔන්න ඒ හාදයා දවසක් ගාල්ලෙ ගමේ ඉඳල නුගේගොඩ ආවලු. කොළඹ පාරවල් නොදන්න නිසා සහ පටලැවෙන නිසා පිටකොටුවටම ගිහිං 138 බස් එකේ නුගේගොඩ යනවලු. නු‍ගේගොඩදි හාදයාට ඕනෙ වුනාලු කොහුවලට යන්න. නුගේගොඩ ඉඳන් කොහුවලට මීටර් පන්සීයක් හයසීයක් වගේ දුරක් තිබුනට හාදය ඒ බව දන්නෙ නෑනෙ. ඉතිං මනුස්සයා ආයෙත් 138 බස් එකක නැගල පිටකොටුවට ගිහිං පිටකොටුවෙන් 120 බස් එකක නැගල ඇවිත් කොහුවල බැස්සලු.

තව එකක් කියන්නම ඕනේ. අද නං කොට කලිසමයි ටී ෂර්ට් එකයි ඇඳං ගියත් අපි ඉස්සර කොළඹ යන්නෙ හොඳට මැදපු කලිසං ෂර්ට් ඇඳල අත් දිගට දාලා යටකරල සපත්තුත් හොඳට පොලිෂ් කරගෙන. ඒ තරම් කොළඹ අපිට හරි ලොකුයි.

කර්මාන්ත අගනුවරට කේන්ද්‍ර වෙලා තියෙනකං ගමේ මිනිස්සු කොළඹ ඇවිත් පිරෙන එක නවත්තන්න බෑ. උදාහරණයක් විදියට මං වැඩ කරන ඇඩ්වර්ටයිසිං ක්ෂේත්‍රය කොළඹටම විතරක් සීමා වෙලා තියෙන දෙයක්. හැබැයි පාලකයින්ට පුළුවං මිනිස්සුන්ට තමංගෙ ගමේ ඉඳලම රස්සාවක් කරන්න පුළුවං තත්ත්වයක් සංවර්ධනය කරන්න. ප්‍රාදේශීය ආයෝජන කර්මාන්ත පුර වගේ විසඳුම් අත්හදා බලල තිබුණත් කොළඹට මිනිස්සු එන එක අඩු කරගැනීම ගැන ලොකු සාර්ථකත්වයක් පෙන්නන්න අසමත් වෙලා තියෙනවා. ඒ නිසා හැමදාම ගමේ මිනිස්සු කොළඹට බඩගාන එක එන්න එන්නම ඉහළ යනවා. රට වටෙන්ම මිනිස්සු දවස ගානෙ කොළඹට එනවා. කොළඹ ජනගහණය වගේ හතර පස් ගුණයක් දවසකට එහෙම කොළඹට සේන්දු වෙනවා. ඒ එක්කම බත් ඔතන පොලිතීන් කොළ කඩදාසි කොළ කොළඹ එනවා. ඒ මිනිස්සුන්ගෙ මල මූත්‍රවලින් කොළඹ මලපවාහන පද්ධතියෙ කාණු පිරෙනවා. අන්තිමේ කුණු කඳු පිටින් කඩං වැටිල මිනිස්සු මැරෙනවා. එහෙම මැරුණෙ කොලොන්නාවෙ මිනිස්සු. කොළොන්නාව කොළඹින් බැහැර සමීප නගරයක්. එහෙම මැරෙන්න ඇත්තෙ වැඩි හරියක් ගමෙන් කොළඹ රස්සාවෙ ඇවිත් කාලෙකට ඉස්සර ඒ හරියෙ නැවතුණු මිනිස්සු වෙන්න ඇති.

කොළඹ නගරෙ හංදියක වාහන හසුරුවන පොලිස් රාළහාමි කෙනෙක්ගෙන් කොළඹ පාරවල් අහල වැඩක් නෑ. ඇයි ඒ රාළහාමිත් බොහෝ විට කොළඹට පිටිං ආපු සේවකයෙක් විතරයි. ජීප් එකෙන් ගෙනැත් බස්සලා යනවා. ආයෙ ෂිෆ්‍ට් එක ඉවර වෙද්දි ජීප් එක ඇවිත් එයාලව පොලීසියට එක්ක යනවා. ඒක එහෙම වෙද්දි කොළඹ හිඟන මුදලාලිලා තමංගෙ වාහන වලින් තමන්ගෙ ගෝල බාල හිඟන්නන්ව එළිය වැටෙන්න කලිං හිඟන මර්මස්ථාන වල බස්සලා ඉර බැහැලත් පැය ගාණකට පස්සෙ ආයෙ පටවගෙන යනවා.

හවස හතර පහුවෙලා නුගේගොඩ යන්න බස් එකකට නැග්ගොත් නුගේගොඩට එනකල් පැය එකහමාරක් වගේ නිදාගන්න පුළුවං සැපට. එච්චර රථ වාහන තදබදය. එහෙම වෙන්න මෙහෙම දේවල් බලපාන්න පුළුවන්.කොහොම දේවල්ද? මිනිස්සු කොළඹට කේන්ද්‍ර වෙද්දි කොළඹ එයාලට ගෙවල් හදන්න ඉඩම් නෑ. දැං ඉඩම් ඉතුරුවෙලා තියෙන්නෙ කොළඹින් බැහැර කොට්ටාව, හෝමාගම, කඩුවෙල, කඩවත වගේ පැතිවලට වෙන්නයි. ඉතිං ඒ ප්‍රදේශ හරිම වේගයෙන් ජනාකීර්ණ වෙනවා. සතියෙ දවස්වල හවස් වෙද්දි කොළඹට ආසන්න ඒ පැතිවලට යන්න ගත වෙන වෙලාවයි ගාල්ල මාතරට යන්න ගතවෙන වෙලාවෙයි ඒ හැටි වෙනසක් නැති වෙන්න ප්‍රධානම හේතුවක් ඒක.

කොළඹ ගැන මෙහෙම පොඩ්ඩක් කතාකරල බෑ. මේ ආරම්භයක් විතරයි. අපි තව ඉස්සරහට කතා කරමු. 

Tuesday, June 13, 2017

ආණ්ඩුව මත හැදීම අතින් අසමත්ද? පී.ආර් එකක් ඇත්තෙම නැද්ද?


නුවරඑළිය තැපැල් කන්තෝරුව
නුවරඑළියෙ තැපැල් කන්තෝරුව හෝටලයක් කරන්න ගිහිං ආණ්ඩුව තව ටිකක් මඩ නාගත්තා කියලයි මං හිතන්නෙ. නුවරඑළියෙ තැපැල් කන්තෝ‍රුව හෝටලයක් කිරීම අපහසු දෙයක් නෙවෙයි. විරෝධතා එල්ල වෙන එක මගහැරගෙන ඒක පහසුවෙන්ම කරන්න තිබුණා. ඒකට වැදගත් වෙන්නෙ මහජන මතය හදන්නෙ කොහොමද කියන එක. ජ‍ාත්‍යන්තරව කෙ‍සේ වෙතත් මේ ආණ්ඩුවෙ දේශීය මහජන සබඳතා අංශය විභාගෙන් අසමත්වීම නිසා ඒකට ඕනෙ කරන පදනම දාගන්න බැරි වුණා.

නුවරඑළියෙ තැපැල් කන්තෝරුව අධිරාජ්‍යවාදී පාලනය කාලෙ ඉදිකරපු ‍ගොඩනැගිල්ලක්. දැන් ඒක සෑහෙන පරණයි. ඒ ගොඩනැගිල්ලෙ ගෘහ නිර්මාණශිල්පය තවදුරටත් ආණ්ඩුවෙ කන්තෝරුවකට ගැලපෙන්නෙ නැහැ. හැබැයි ඒක හෝටලයකට විශේෂයෙන්ම ගැලපෙනවා.

අ‍ාණ්ඩුව මුලින්ම කරන්න ඕනෙ ඒ ගොඩනැගිල්ල පරණ, අබලන් සහ නඩත්තුවට අපහසු බවට මතයක් හදන එක. ගොඩනැගිල්ලෙ දිරාපත් තැනක දෙකක පිංතූර ටිකක් එක්ක නිව්ස් ටිකක් යැව්ව නං මිනිස්සු හිතන්න ගන්නවා මේක දැං පරණයි සහ අබලන් ස්ථානයක් නේද කියලා.

ඊට පස්සෙ අලුත් ගොඩනැගිල්ලක් ඕනෙ කියන අදහස නිකංම එනවා. ඉතිං අලුත් ගොඩනැගිල්ලක් හදල ඒකට තැපැල් කන්තෝරුව ගෙනියනවා. තවත් ටික කාලයක් යද්දි ගොඩනැගිල්ල තව ටිකක් ජරාවාස වෙනවා. අන්න එතකොට මතයක් හැදෙනවා මේ ගොඩනැගිල්ල රැකගන්න ඕනෙ සහ ඒක රැක ගැනීම ජාතික අවශ්‍යතාවයක් කියලා. අන්න ඒ මොහොතෙදි ඒක සංචාරක හෝටලයක් කරල හරි රැකගත්තට කමක් නෑ කියන එකයි බහුතර මතය වෙන්නෙ.

එතකොට විරුද්ධ දේශපාලන මතවාදීන්ටත් මේක මාතෘකාවක් කරගන්න කාලයක් නෑ. ඒක ඒ තරමටම අමතක වෙලා ගිය දෙයක් සහ තව දුරටත් එතන තැපැල් කන්තෝරුවක් නැති නිසා.

හෝටලයක් කරන්න මේ ගොඩනැගිල්ලේ පුරාවිද්‍යාත්මක වටිනාකම රැකගනිමින් අලුත්වැඩියා කරන බව මිනිස්සු අතරට ගෙනියන්න ඕනෙ. එතකොට ඒකෙන් රටට එන ආදායම සහ රැකියා උත්පාදනය කියන අනුමාතෘකා මතුවෙනවා.

ආණ්ඩුව කරේ මේ ක්‍රියාවලියෙ අවසන් පියවර මුලින් තබපු එක. ඉතිං ප්‍රොජෙක්ට් එක ෆේල් වෙන එක අහන්නත් දෙයක්ද?

මහජන සබඳතාවය නැතිනම් PR එක කියන්නෙ තනිපුද්ගලයින්ට, කොම්පැණිවලට වගේම ආණ්ඩුවලටත් අත්‍යවශ්‍ය දෙයක්. අනිකා අපි ගැන විශ්වාසය තබන්න අපේ මහජන සබඳතා පැවැත්වීමේ ක්‍රමෝපාය හරිම වැදගත් වෙනවා.

ජාත්‍යන්තර මහජන සබඳතාවය පවත්වන් යන විදියට දේශීය මහජන සබඳතාවය පවත්වන් යන්න බැහැ කියන එක මුලින්ම අවබෝධ කරගන්න ඕනෙ. අපේ දේ විනාශ කරනවා විකුණනවා කියන එක වෙනුවට අපේ දේ රැකගන්නවා, රටට විදේශ විනිමය වැඩියෙං ගේනවා කියන මතය මෙතෙන්දි හරිම පහසුවෙන් හදන්න තිබුණා.

සංචාරක ආකර්ෂණය සහ රැකියා උත්පාදනය

හෝටලේට අමතරව මේකෙ පැත්තකින් පොඩියට තැපැල් කෞතුකාගරයක් හදන්න තිබුණ නම් මරේ මරු. ඒකෙන් හෝටලේ අගය තවත් වැඩිවෙනවා. තැපෑල පරණ වෙන්න, පරණ වෙන්න වැඩිවෙන්න අැන්ටික් වැලිව් එක විතරයි, හැබැයි හෝටලයක ‍ගොඩනැගිල්ලක් පරණ වෙන්න පරණ වෙන්න සංචාරක ආකර්ෂණය ඉහළ යනවා.

දැං ඉතිං තව කාලයක් ඕකෙ මුද්දර උඩ සීල් ගහන 'දඩාං' සද්දෙ නුවරඑළි සීතල කපාගෙන කණට වදියි.

Tuesday, February 28, 2017

උඹට ඉතිං පාර පෙනෙයිද



ආතතිය අරගෙන
ආ පිරිමි රොත්තම
බෙහෙත් ගමු කියද්දී
නපුරු හීන විතරක් මැද
තද කරගෙන ඇස් පියන්
ආසාවට නින්ද නොයද්දී
නහර වැල් ඇට මිදුළු දිගේ
කොනිත්ත කොනිත්ත 
වේදනාවම දුවද්දී 
උඹට ඉතිං පාර පෙනෙයිද

වරද්දන්නම හදන පුරුෂ ලිඟු
කොඩි ගස්ව යෙහෙන් වැජඹෙද්දී