Sunday, March 27, 2016

හිතුනොතිං මෙතැනට එමූ

අහසක් නොවෙයි නුඹ
එකම එක අහසක එකම එක හෙණයකි
පොළොවක් නොවෙයි නුඹ
එකම එක පොළොවක එකම එක වැලි කැටයකි

මා දුටුව විසල් සිහින
වැසි බවට පත්වී ඇද වැටෙයි
තෙමාගෙන මාවම

ප්‍රේමයම හෙණයකි
පාත්වෙන පපුවට
හරියටම කිව්වොත්
නුඹ හිස තියාගත් තැනටම

ගැබ්බර කරන්නට හිතූවත්
මගේ ලේ කළලයක්
උඹට දොළ දුක හැදුනෙ
කන්නමයි අන්නාසි ගැටයක්

කේන්තිය පවුකාරයි
කේන්තිය මට කෝඩුකාරයි
මධුසමය අහවරයි
දැන් ඉතිං පෑවිල්ල ඇරඹෙයි

සිහිල මට දැනුනු
දිය බිඳිති උනපූ
වේළිලා යයි දැං
හිතුවිලි හිතට ගලපූ

ආදරය සාමුහික ගොවිපොලකී
අස්වැන්න කෑමට පමණී
විකුණලා සල්ලිත් අවැසී
නුඹ ඇත්තටම සුභසාධන රජයකී

හරි කෙලිං මාවත් විහිදුනූ
හංදියකි අපි නැවතුනූ
දැං ඉතිං වෙන්වෙමූ
හිතුනොතිං මෙතැනට එමූ




අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි

Thursday, March 3, 2016

‍ඔසප් දුක දන්න මුරුගා



මේ කියන්න යන කතාවේ ආරම්භය 1998 වර්ෂය වෙනකම් ඈතට යනවා. අරුණාචලම් මුරුගනාදම් කියන්නේ දකුණු ඉන්දියාවේ අත්යන්ත්‍ර පේෂකර්ම නිර්මාණකරණය ජීවිකාව කරගත් දුප්පත් මවකටත් පියෙකුටත් දාව උපන් දරුවෙක්. තමන්ගේ අළුත ගෙනා මනමාලිය නැතිනම් බිරිඳ ඇගේ ඔසප් දිනවලදී සනීපාරක්ෂක තුවා වෙනුවට භාවිතා කරන්නේ පරණ රෙදි කැබලි නැත්නම් පාංකඩ බව මුරුගනාදම් දැන ගන්නවා. සනීපාරක්ෂක තුවා වෙනුවෙන් වැය කරන මුදලින් කෑමට දෙයක් ගැනීම වටින තත්ත්වයකයි ඔවුන් ජීවත් වුනේ. කොහොම වුනත් මුරුගා මේ සිදුවීමෙන් බලවත් සිත්තැවුලට පත්වෙනවා. මුදල් අගහිඟකම නිසා තම බිරිඳ ඔසප් දිනවල පරණ රෙදි කෑලි පාවිච්චි කිරීම ගැන ඔහු බොහෝ කලකිරෙනවා. මේ ගැන හිතල හිතල අන්තිමේ තවත් ටිකක් හිතන මුරුගා තමන්ගෙ බිරිඳට පාවිචිචි කරන්න සනීපාරක්ෂක තුවා තම අතින්ම නිර්මාණය කරන්න හිතනවා. මුලින් ඒක හරිම සරල දෙයක් විදියටයි ඔහු කල්පනා කරේ. කපු රෙදි රෝලක් අරං එන මුරුගා ඒක කැබලි වලට කපනවා. කඩවල්වල විකුණන්න තියෙන සනීපාරක්ෂක තුවායන්ගේ ප්‍රමාණයට ඒ කපු රෙදි කැබලි කරගන්න මුරුගා පසුව ඒ කැබලි වටේට තවත් හීනි කපු රෙදි ලේයරයක් ඔතනවා. තමන්ගෙ අතින් ගෙදරදී නිපදවපු මේ සනීපාරක්ෂක තුවාය තම බිරිඳ අතට දෙන මුරුගා ඇගෙන් ඉල්ලන්නේ ඔසප් දිනවල එය භාවිතා කර බලන ලෙසයි. ඇය එය භාවිතා කරනවා. නමුත් මුරුගාගේ හිත සැනසෙන ප්‍රතිචාරයක් නම් ලැබුනෙ නෑ. මේක වැඩකට ඇති එකක් නොවයි මීට වඩා පරණ රෙදි කෑලි තියා ගන්න එක හොඳයි වගේ අදහසක් තමයි මුරුගාගේ බිරිඳගෙන් පිටවුනේ. 

මුරුගාට වැරදුනේ කොතනද? කඩේ විකුණන්න තියෙන සනීපාරක්ෂක තුවායෙ සහ ඔහු හදපු සනීපාරක්ෂක තුවායෙ වෙනස මොකක්ද ? මුරුගා කල්පනා කරා. කලින් භාවිතා කරපු ද්‍රව්‍යයන්ට වඩා වෙනස් ද්‍රව්‍ය යොදාගෙන අලුතික් තව සනීපාරක්ෂත තුවා හදන්න මුරුගා කටයුතු කරා. හැබැයි මුරුගට ප්‍රශ්නයක් ආවා ඒ හැම වෙලාවෙම. අලුත් සනීපාරක්ෂක තුවායක් හදන හැම වෙලේම ඒක පරීක්ෂා කරන්න තමන්ගෙ බිරිඳට ඔසප් හැදෙනකම් බලන් ඉන්න සිදුවුනා මුරුගාට. ඊළඟට මුරුගා කරේ මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න ඉන්නෙ කවුද කියල හොයල බලපු එක. මුරුගට ආපහු හැරෙන හිතක් තිබුනෙ නෑ. ඔහුගෙ ගම ආසන්නයේ තිබුනු වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න සිසුවියන් හමුවුන මුරුගා තමන්ගෙ පරීක්ෂණයට සහයෝගය දක්වන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. ඔවුන්ගෙන් සමහරු ඇත්තටම මුරුගාගේ සනීපාරක්ෂක තුවා භාවිතා කර පරීක්ෂා කරල තිබුනා. ඒත් ඉන් හුඟ දෙනෙක් මේ ගැන ඇත්තම ප්‍රතිචාර කියන්න මැලි වුනා. විකල්පයක් නොමැති තැන මුරුගා තීරණය කරා තමන් විසින්ම මේ නිපැයුම පරීක්ෂා කර බලන්න. ඔහු අවට පරිසරයෙන් හොයාගත් රබර් යොදාගෙන කෘත්‍රීම ගර්භාෂයක් නිර්මාණය කරා. එම කෘත්‍රීම ගර්භාෂයට සත්ව රුධිරය පුරවා ඔහුගේ උකුල ආසන්නයේ රඳවා ගත්තා. තමන් නිපදවපු සනීපාරක්ෂක තුවායක් තම යට ඇඳුම ඇතුලින් හරියට කාන්තාවො පළඳින විදියටම මුරුගා තියාගත්තා. එතකොට ඒ කෘත්‍රීම ගර්භාෂයේ ඉඳන් බටයක් දිගේ සත්ව රුධිරය ඒ සනීපාරක්ෂක තුවායට එන විදියට මුරුගා සකස් කරගත්තා. ඒ ගර්භාෂය මිරිකන වෙලාවට කාන්තාවන්ගෙ ගර්භාෂයේ ඉඳන් රැධිරය යෝනි මාර්ගය දිගේ එනවා වගේ පහළට ගලං ආවා.

අවාසනාවට ඒ පරීක්ෂාවත් හරිගියේ නෑ. මුරුගගේ ඇඳුම් වල සත්ව රුධිරය තැවරිලා පිළී ගඳ එන්න පටන් ගත්තා.  මුරුගාගෙ ඇඳුම්වල ලේ පැල්ලම් දැක්ක අසල් වැසියො හිතුවේ මුරුගා අසනීපයකින් පෙළෙනවා එහෙමත් නැත්තම් කිසියම් කාම විකෘතියකින් පෙළෙනවා කියලයි. මේ කටකතා නිතරම අහන් ඉන්න මුරුගාගේ බිරිඳ කැමති වුනේ නෑ. ඇය ඔහුව අත හැර ඇගේ මව ළඟට ගියා. බිරිඳ ඔහුව හැර ගිහිං දින 20කින් දික්කසාදය ඉල්ලා නීතීඥයෙකු හරහා එවන ලිපියක් ඔහු අතට ලැබුනා. තම මහන්සියට ලද පළමු ඇගයීම එය ලෙසයි මුරුගා සැලකුවේ.

ඒත් මුරුගා නෙවෙයි නැවතුනේ. මේ හැම අපහාසයක්ම විඳ දරාගෙන මේ දේ කරන්නේ ඉන්දියාවේ සමස්ථ දුප්පත් කාන්තා සංහතියේම යහපතට බව මුරුගා දැනගෙන උන්නා. මේ සමීක්ෂණ අතර තුර මුරුගා දැනගත්තා සියයට දහය සහ සියයට විස්ස අතර ඉන්දීය ගැහැණු ළමුන් සහ වැඩිහිටි කාන්තාවන් ප්‍රමාණයක් පමණයි නිවැරදි සනීපාරක්ෂක තුවා භාවිතා කරන්නෙ ‍කියලා. මුරුගාට අවශ්‍ය වුනේ තම රටේ කාන්තාවන්ට අඩු මිලකට මිලදී ගන්න පුළුවන් වඩාත් නිවැරදි සනීපාරක්ෂාවකින් යුක්ත සනීපාරක්ෂක තුවායක් නිර්මාණය කිරීමට පමණයි. 

මෙහෙම අවුරුදු දෙකක් ගතවෙද්දි මුරුගා හරිම අමුද්‍රව්‍ය හොයා ගත්තා. අවුරුදු හතරක් ගතවෙන කොට ඉතාමත් පහසුවෙන් නිවැරදි සනීපාරක්ෂාවකින් යුක්ත සනීපාරක්ෂක තුවා අඩු මිලට නිපදවන්න පුළුවන් යන්ත්‍රයක් නිර්මාණය කරන්න මුරුගා සමත් වුනා. පිටරටින් ආනයනය කරන සනීපාරක්ෂක තුවා නිපදවන යන්ත්‍රයක් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක් පමණ වෙද්දි මුරුගා නිපදවූ යන්ත්‍රයක මිල වුනේ ඇමෙරිකානු ඩොලර් 950ක් පමණයි.  දැන් කාන්තා සංවිධාන හෝ පාසල්වලට මුරුගාගේ මෙම යන්ත්‍ර මිලදී ගෙන තමන්ටම සනීපාරක්ෂක තුවා නිපදවාගන්නටත් අතිරික්තය අලෙවි කරන්නත් පුළුවන්. මුරුගාගේ සොයාගැනීම නිසා ඉන්දියාවේ ග්‍රාමීය පෙදෙස්වල කාන්තාවන්ට ස්වයං රැකියා අවස්ථා උදාවුනා. ඇත්තටම මුරුගා කළේ හැබෑම විප්ලවයක් ඒක දැවැන්ත වෙනසක්. ඒ වගේම සේවයක්. මේවන විට ඉන්දියාවේ ප්‍රාන්ත 27ක මුරුගාගේ සනීපාරක්ෂක තුවා නිපදවන යන්ත්‍ර 1300ක් විකිණී තිබෙනවා. ඒ වගේම මේ යන්ත්‍ර විදෙස් රටවලට අපනයනය කිරීමත් පසුගියදා ආරම්භ වුනා. 

ඉන්දියාවේ පාසල් යන වයසේ ගැහැණු ළමුන් පස් දෙනෙකුගෙන් අයෙක් ඔසප් දිනවල පාසල් යන්නේ නෑ. ඒ වගේම ඉන්දියානු කාන්තාවන් මිලියන 300ක් ඔසප් දිනවලදී සනීපාරක්ෂාවෙන් යුක්ත නිවැරදි සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමේ අපහසුතාවන්ගෙන් පෙලෙනවා. 

මුරුගාගේ බිරිඳ ශාන්ති තමන් හැරදා ආපු සැමියාගේ දස්කම් මාධ්‍යයෙන් දකින්නේ මේ අතරයි. ඔහු මනුෂ්‍ය වෙසින් ඉන්න දෙවියෙක් කියල ඇයට හිතෙන්නෙ එතකොටයි. සැමියාට දුරකථන ඇමතුමක් ගන්න ශාන්ති ඇගේ වරදට සමාව ඉල්ලන්න පැකිලෙන්නෙ නෑ. දැන් මුරුගයි ශාන්තිය ඉතාම ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා.  

අදවන විට මුරුගා කියන්නේ මුළු ඉන්දියාවේම නම රඳවපු කීර්තිමත් සමාජයීය ව්‍යවසායකයෙක්. ඒ වගේම 2014 වර්ෂයේදී ටයිම් සඟරාව විසින් ලෝකයේ වඩාත්ම බලපෑම් සහගත පුද්ගලයින් 100 දෙනා අතරට මුරුගාවත් තෝරනු ලැබුවා. 

සමාගම් කිපයක්ම මේ යන්ත්‍රයේ පේටන්ට් හිමිකම් විශාල මිලකට ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප කළ මුරුගා කාන්තා ප්‍රජාවේ යහපතට පමණක් එය යොදවන්න තීරණය කරා. 




(පරිවර්ථනය සඳහා උපුටා ගැනීම ‍අල්ජසීරා වෙබ් අඩවියෙන් ඉංග්‍රීසි ලිපිය පලවී තිබුනේ මෙතන)