Tuesday, June 13, 2017

ආණ්ඩුව මත හැදීම අතින් අසමත්ද? පී.ආර් එකක් ඇත්තෙම නැද්ද?


නුවරඑළිය තැපැල් කන්තෝරුව
නුවරඑළියෙ තැපැල් කන්තෝරුව හෝටලයක් කරන්න ගිහිං ආණ්ඩුව තව ටිකක් මඩ නාගත්තා කියලයි මං හිතන්නෙ. නුවරඑළියෙ තැපැල් කන්තෝ‍රුව හෝටලයක් කිරීම අපහසු දෙයක් නෙවෙයි. විරෝධතා එල්ල වෙන එක මගහැරගෙන ඒක පහසුවෙන්ම කරන්න තිබුණා. ඒකට වැදගත් වෙන්නෙ මහජන මතය හදන්නෙ කොහොමද කියන එක. ජ‍ාත්‍යන්තරව කෙ‍සේ වෙතත් මේ ආණ්ඩුවෙ දේශීය මහජන සබඳතා අංශය විභාගෙන් අසමත්වීම නිසා ඒකට ඕනෙ කරන පදනම දාගන්න බැරි වුණා.

නුවරඑළියෙ තැපැල් කන්තෝරුව අධිරාජ්‍යවාදී පාලනය කාලෙ ඉදිකරපු ‍ගොඩනැගිල්ලක්. දැන් ඒක සෑහෙන පරණයි. ඒ ගොඩනැගිල්ලෙ ගෘහ නිර්මාණශිල්පය තවදුරටත් ආණ්ඩුවෙ කන්තෝරුවකට ගැලපෙන්නෙ නැහැ. හැබැයි ඒක හෝටලයකට විශේෂයෙන්ම ගැලපෙනවා.

අ‍ාණ්ඩුව මුලින්ම කරන්න ඕනෙ ඒ ගොඩනැගිල්ල පරණ, අබලන් සහ නඩත්තුවට අපහසු බවට මතයක් හදන එක. ගොඩනැගිල්ලෙ දිරාපත් තැනක දෙකක පිංතූර ටිකක් එක්ක නිව්ස් ටිකක් යැව්ව නං මිනිස්සු හිතන්න ගන්නවා මේක දැං පරණයි සහ අබලන් ස්ථානයක් නේද කියලා.

ඊට පස්සෙ අලුත් ගොඩනැගිල්ලක් ඕනෙ කියන අදහස නිකංම එනවා. ඉතිං අලුත් ගොඩනැගිල්ලක් හදල ඒකට තැපැල් කන්තෝරුව ගෙනියනවා. තවත් ටික කාලයක් යද්දි ගොඩනැගිල්ල තව ටිකක් ජරාවාස වෙනවා. අන්න එතකොට මතයක් හැදෙනවා මේ ගොඩනැගිල්ල රැකගන්න ඕනෙ සහ ඒක රැක ගැනීම ජාතික අවශ්‍යතාවයක් කියලා. අන්න ඒ මොහොතෙදි ඒක සංචාරක හෝටලයක් කරල හරි රැකගත්තට කමක් නෑ කියන එකයි බහුතර මතය වෙන්නෙ.

එතකොට විරුද්ධ දේශපාලන මතවාදීන්ටත් මේක මාතෘකාවක් කරගන්න කාලයක් නෑ. ඒක ඒ තරමටම අමතක වෙලා ගිය දෙයක් සහ තව දුරටත් එතන තැපැල් කන්තෝරුවක් නැති නිසා.

හෝටලයක් කරන්න මේ ගොඩනැගිල්ලේ පුරාවිද්‍යාත්මක වටිනාකම රැකගනිමින් අලුත්වැඩියා කරන බව මිනිස්සු අතරට ගෙනියන්න ඕනෙ. එතකොට ඒකෙන් රටට එන ආදායම සහ රැකියා උත්පාදනය කියන අනුමාතෘකා මතුවෙනවා.

ආණ්ඩුව කරේ මේ ක්‍රියාවලියෙ අවසන් පියවර මුලින් තබපු එක. ඉතිං ප්‍රොජෙක්ට් එක ෆේල් වෙන එක අහන්නත් දෙයක්ද?

මහජන සබඳතාවය නැතිනම් PR එක කියන්නෙ තනිපුද්ගලයින්ට, කොම්පැණිවලට වගේම ආණ්ඩුවලටත් අත්‍යවශ්‍ය දෙයක්. අනිකා අපි ගැන විශ්වාසය තබන්න අපේ මහජන සබඳතා පැවැත්වීමේ ක්‍රමෝපාය හරිම වැදගත් වෙනවා.

ජාත්‍යන්තර මහජන සබඳතාවය පවත්වන් යන විදියට දේශීය මහජන සබඳතාවය පවත්වන් යන්න බැහැ කියන එක මුලින්ම අවබෝධ කරගන්න ඕනෙ. අපේ දේ විනාශ කරනවා විකුණනවා කියන එක වෙනුවට අපේ දේ රැකගන්නවා, රටට විදේශ විනිමය වැඩියෙං ගේනවා කියන මතය මෙතෙන්දි හරිම පහසුවෙන් හදන්න තිබුණා.

සංචාරක ආකර්ෂණය සහ රැකියා උත්පාදනය

හෝටලේට අමතරව මේකෙ පැත්තකින් පොඩියට තැපැල් කෞතුකාගරයක් හදන්න තිබුණ නම් මරේ මරු. ඒකෙන් හෝටලේ අගය තවත් වැඩිවෙනවා. තැපෑල පරණ වෙන්න, පරණ වෙන්න වැඩිවෙන්න අැන්ටික් වැලිව් එක විතරයි, හැබැයි හෝටලයක ‍ගොඩනැගිල්ලක් පරණ වෙන්න පරණ වෙන්න සංචාරක ආකර්ෂණය ඉහළ යනවා.

දැං ඉතිං තව කාලයක් ඕකෙ මුද්දර උඩ සීල් ගහන 'දඩාං' සද්දෙ නුවරඑළි සීතල කපාගෙන කණට වදියි.