Showing posts with label කතා. Show all posts
Showing posts with label කතා. Show all posts

Thursday, May 14, 2015

ඔයත් යනවද?

“කාටවත් කියන්නෑ කියල පොරොන්දු වෙන්න. රණ්ඩු අල්ලන් නෑ කියල පොරොන්දු වෙන්න.” රිද්මිකා ගෙ කට හඬ දුකට බරවෙලා මට ඇහුණා.

අපි ආදරේ කරන්න පටන් අරන් ටික කාලෙක ඉඳන් අපි අතරෙ ගොඩක් ප්‍රශ්න ඇති වුනා. සීයට අනූනවයක් ප්‍රශ්න වලට වැරදි කාරයා මම. රිද්මිකා පුදුම ඉවසීමක් ඉවසුවා. හැම වැරැද්දක්ම අවසානේ මම වැරැද්ද පිළි අරං ආයි එහෙම කරන්නෑ කියල පොරොන්දු වෙනවා. ඒත් ඒකම ආයිත් මගේ අතින් කෙරෙනවා. ඒ හැම වැරැද්දක්ම අපේ සම්බන්ධෙ කැඩෙන්න තරම් දුර ගිය ගිය ඒව උනත් රිද්මිකාගේ ඉවසීම නිසා එහෙම වුනේ නෑ. ගොඩක් වෙලාවට මගේ හිතල මතල වැඩ නොකරන ගතිය නිසා ප්‍රශ්න ඇතිවුනා කියලා මම පිළිගන්නවා. ඒ නිසා එයාට බය ඇති මගෙත් එක්ක ප්‍රශ්නයක් කතා කරන්න. මම රණ්ඩු කරයි කියල.

“කියන්න. මං ඉස්සරට වැඩිය හොඳ කෙනෙක් කියල තාම ඔයාට තේරෙන් නැද්ද?” මම ඇහුවා.
 ‘‘අපේ අම්මට ඔයාලගෙ පැත්තෙ කෙනෙක් කියල තියෙනවා ඔයාගෙ අසනීපෙ ගැන. ඒක ගොඩක් විශ්වාස වන්ත ආරංචියක් විදියට අම්ම හිතන්නෙ.” ඇය කිව්වා.

අ...ස...නී......පෙ..... .......රුධිරය ...කැටි ...නො...ගැසීම.......... ‘හිමෝෆීලියා’....... මගේ ඔලුව ඇතුලෙ දෝංකාර දෙන්න ගත්තා. කවද හරි මේ අසනීපෙ මට රිද්මිකාව අහිමි කරන බව හැම රෑකම ගැස්සිලා ඇහැරවන නොනවතින හීන වැල කාලෙක ඉඳං මට කිව්වා.

මම කවදාවත් මගේ අසනීපෙ ගැන රිද්මිකාට බොරුවක් කිව්වෙ නැත්තෙ මම එයාට ගොඩක් ආදරේ කරපු නිසයි. මම සම්බන්ධකම් පවත්තපු ගෑනුන්ගෙ ඉඳං අන්තිමට ගිය කිඹුහුම දක්වාම මම එයාට කියල ඇති. එයත් කවදාවත් එයාගෙ ජීවිත කතාවෙ මට ගවේෂණය කරල හොයාගන්න තරම් දෙයක් ඉතුරු නොකරම මට කියල තිබුනා.

“ඔයාගෙ ලේ කැටි ගැහෙන්නෙ හරිම අඩුවෙන්. ඔයාට තුවාලයක් උනොත් නොනවත්වා ලේ ගලන රෝගයක් තියෙනවා. ඒකට කියන්නෙ හිමෝෆීලියා කියල.” දැන් මාසෙකට කලින් බස් එකට නගින්න යද්දි ෆුට් බෝඩ් එකේ ඇනේකට අහුවෙලා කකුල තුවාල වෙලා ඉස්පිරිතාලෙ ගියාම ඩොක්ටර් කිව්වෙ එහෙම. ඉස්පිරිතාලෙට යද්දි මට සිහිය තිබිලත් නෑ සිහිය ආවෙ දවස් ගාණකින් පස්සෙ. ලේ හුඟක් ගිහිං ඒ පොඩි තුවාලෙට.

පුංචි කාලෙ ඉස්කෝලෙ යද්දි ක්‍රිකට් සෙල්ලම් කරද්දි වැටිලා ඔය විදියටම තුවාල උනා. එදත් ගොඩක් ලේ ගියා. ඒ විදියටම තව පාරක් සරඹ පීරියඩ් එකේදි තුවාල උනා. ඩොක්ටර්ස්ල අම්මලට කියල තිබුනා මගේ ලේ කැටි නොගැසෙන බව. ඒත් මගෙන් බිහිවෙන දරුවෙක්ටත් මේ ලෙඩේ යන බව මං දැනං හිටියෙ නෑ. මේ පාර හොස්පිටල් එකේදි මං ඒ ගැන ඩොක්ටර්ගෙන් ඇහුවම ඩොක්ටර් එහෙම වෙනවා කිව්ව වෙලාවෙ වාට්ටුව කැරකුණා. මම එහෙම්ම ඇස් දෙක පියා ගත්තා.

අනික් කෙල්ලෝ වගේ ඒ මොහොත ගැන විතරක් කතා කරන කෙල්ලෙක් නෙවෙයි රිද්මිකා. එයාට ලස්සන පවුල් ජීවිතයක් ගැන හීනයක් තිබුනා. එයා ළමයින්ට ගොඩක් ආස කරා. අපි නිතරම අපේ ළමයෙක්ගෙ හුරතල් වැඩ ගැන කතා කරා. ඒත් ඒ හීනෙට දැන් සමුදෙන්න වෙලා. මට තාත්ත කෙනෙක් වෙන්න බැරි බව දැන ගත්තම එයාට මාව එපා වෙයි. ඒත් මං ඇත්තම එයාට කිව්වා.

“ඔයාට තාත්ත කෙනෙක් වෙන්න බැරි උනා කියල මං ඔයාව දාල යයි කියල හිතුවද? එහෙම වෙන් නෑ කවදාවත්. අපිට බබාල ඕනෙ නෑ. අපි හැමදාම සතුටින් ඉමු.” රිද්මිකා කිව්වා.
ටික කාලයක් යද්දි මට තේරුණා එයා මට නොකිය මේ ප්‍රශ්නෙන් විඳවනවා කියලා. පොඩි ළමයෙක් දැක්කොත් ටික වෙලාවක් යනකං එයා ගෙ මූණෙ ඇතිවෙන වෙනස මට හොඳට පේන්න ගත්තා.

“ අපි නළ බබෙක් හදමු” ආයෙ දවසක එයා කිව්වා. එයා දරුවෙක්ට ගොඩක් ආස බව මට ඒ කතාවෙන් තේරුනා. වෙන පිරිමියෙක්ගෙ ජානයක් මගේ දරුවෙක් විදියට උස් මහත් කරගන්න මම එතකොට මගේ යටි හිතටම පොරොන්දු වෙලා හිටියෙ.  “මම නළ බබෙක් හදනව කියල අම්මට කිව්වා” ආයෙත් දවසක් එයා කිව්වම අම්ම මොකද කිව්වෙ කියල මම ඇහුවා. අම්මා සද්ද නොකර හිටපු බවත් හොඳ නිරෝගී කෙනෙක්ගෙ ජාන වලින් ළමයෙක් හදාගන්න තාක්ෂණේ අද දියුණුයි නේද කියල අම්ම කිව්ව බව රිද්මිකා එවෙලෙ හිනාවෙලා කිව්ව.

ඔය අතරෙ රට ගිහිං හිටපු රිද්මිකාගෙ අයියත් ගෙදර ආවා. අයියගේ විරෝධෙත් රිද්මිකාට ගොඩක් දැනෙන්න පටන් අරං තිබුනා. එහෙං මෙහෙං එන කේලම් එයාගෙ ගෙදර ගින්දර ඇවිළුවා. මුලදි මට ගොඩක් ආදරෙන් හිටපු රිද්මිකාගෙ අම්මා පස්සෙ පස්සෙ ගොඩක් වෙනස් වෙන්න ගත්තා. පොඩි තුවාලයක් උනත් නොනවත්වා ලේ ගලන පරම්පරාවක් බෝකරන්න බැරි මිනිහෙක්ට දුවෙක් දෙන්න අම්මෙක් කැමති වෙන එකක් නෑ.

“අපේ අම්ම මට හරියට එක එක ඒවා කියනවා. ඔයගොල්ලෝ මුලින්ම අපේ ගෙදර ආපු දවසේ ඔයාලගෙ අම්ම කියපු ආඩම්ර කතා වලට තාම අපේ අම්ම මට බනිනවා. එදා අපේ අම්මල ඉවසං හිටියට අද වෙනකොට ඔයාගෙ අසනීපෙත් එක්ක අපේ අම්මල හුඟක් වෙනස් වෙලා” රිද්මිකා කිව්ව.

“ඇයි ඉස්සර වැරදි වලට දැනුත් බනින්නෙ. එහෙම වෛරයක් හිතේ තියාගෙන කොහොමද ගෙවල් දෙකේ අය සතුටින් ඉන්නෙ?” මං ඇහුවා.
“දැං ඒවා කතාකරල වැඩක් නෑ. කෑම කන වෙලාවට වෑංජනයක් රස නැහැ කිව්වත් අම්ම මට බනිනවා ලෙඩෙක් හොයා ගත්ත නං උගෙ ගෙදර ගිහිං කාහං. දැන් උඹ අපි ඔක්කොම කාල තියෙන්නෙ කියල.” රිද්මිකා කිව්ව.

මේ අසනීපෙට වියදං කරල මමත් මගේ ගෙදර අයත් දැං ගොඩක්ම පහලට වැටිල ඉවරයි. හැබැයි මට තිබුන කාලෙ ළඟ හිටපු හුඟක් අය දැං මගේ ළඟ නෑ. මම ජීවිතේ තේරුම් අරං ඉවරයි. උදව් ගන්න කොට හිනා වෙලා ඇවිත් පණ දෙන්න කතා කරපු අය දැන් කොහේද දන්නෑ.

ඒත් මට රිද්මිකාගෙ වෙනස දරා ගන්න බෑ. එයා මේ අසනීපෙන් පස්සෙත් මාව ගොඩක් කල් ආදරෙන් බලා ගත්තා. එයාගෙ අම්මගෙ කතා වැරදියි කිව්වම එයාට කේන්ති ගියා මගෙත් එක්ක රණ්ඩු උනා. ඔයා රණ්ඩු වෙන්න ඕනෙ මං එක්ක නෙවෙයි අපේ ආදරේ බිඳවන්න හදන අයත් එක්ක නේද කියල මං ඇහුව. ඒත් ඒ වෙද්දිත් එයාගෙ හිත ගොඩක් වෙනස් වෙලා තිබුනෙ.

“ලෙඩෙක් එක්ක ජීවත් වෙලා මගේ ජීවිතේ අඳුරු කරගන්න බෑ”  අන්තිමට එයා කිව්ව.  

කමක් නෑ රිද්මි ඔයා යන්න. අම්මලා කැමති තැනක ඔයා සතුටින් ඉන්න. දවසක මේ ලෙඩේ හන්දා ලේ ගිහිං වැඩි කමට මාව මැරිල යයි. එන ආත්මෙක නිරෝගී මිනිහෙක් වෙලා මං ඔයාව හොයා ගෙන එන්නම් ආදරෙත් අරං. මම ඉස්සර ඔයාට ගොඩක් වැරදි කරන්න ඇති. ඒත් මං ඒ හැම වැරැද්දක්ම හදා ගෙන හොඳ මිනිහෙක් වෙලා හිටියෙ. ඔයා මට ලෙඩෙක් කියල කිව්වම මම ඔයාට උඹ කියල බැන්නෙ ඔයාට උඹ කියලවත් බනින් නෑ කියල උනු පොරොන්දුව අමතක කරල නෙවෙයි. මට ඔයා ගෙ වචන කිණිසි පාරවල් උනු නිසා. අදටත් මට නැගිට ගන්න බෑ වැටුනු තැනින්.

මේ දැන් ආදරෙන් ඉන්න ඔයා එක පාරට අම්ම බැන්නම අම්මගෙ වචන අහං ඉන්න බෑ කියල මං එක්ක රණ්ඩු වෙලා හරියනවද රිද්මි? ලෙඩෙක් උනත් මට නිරෝගී හදවතක් තියෙනවා. හදවතට බොරු කරල ජීවත් වෙන්න මට බෑ මට මාවම රවට්ට ගන්න බෑ. ඔයාගෙ අම්මට ඔයාව වටිනවා. මාව තව ටික දවසක් ජීවත් කරවන්න අපේ අම්මල හීන දකිනවා. ඔයා තමයි මට මගේ ජීවිතේ දෙවෙනි අම්ම. අම්මෙක්ගෙ ආදරේ තරම්ම ආදරයක් මට දීල මෙච්චර කල් මං වෙනුවෙන් බලං ඉඳිය ඔයාට මම කොහොමද සමුදෙන්නෙ රිද්මි?   



හිමෝෆීලියා කියන්නෙ මාව හොයාගෙන එන දෙව් දුවක් නෙවෙයි. හිමෝෆීලියා කියන්නේ මගේ ආශ්වාස වාතය ගින්නකට පරිවර්ථනය කරල ප්‍රශ්වාස කරවන, රිද්මිගෙන් පස්සෙ ස්වභාවධර්මය මවපු ආදරණීයම නිර්මාණය කියල හිතාගෙන මම තුවාල කැළල දිහා බැලුවා. 


- අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි - 




Sunday, May 3, 2015

පිටකොටුවෙන් පිට .....

''ඉර මූද අයිනේ හැංගිල යනව වගේ නේද.....''?



මගේ වම් උරිස්සට ආදරණීය හේත්තුවක් දාගෙන ඉන්න ගමන්ම ඇය මගේ දිහා නොබලාම මූද දිහා බලාගෙන කියෝනවා.

''ම්..ම් හැබැයි ඔය හෝගාන පොකුණට අයිනක් කියල දෙයක් නෑ. ලෝක බෝලෙ වටේටම උඩයි යටයි හැම තැනම මූද රජකරනවා.''

මමත් පණ්ඩිත වාක්කියක් දිග ඇරියා. කොහොමටත් මං හරි ආසයි සෙව්වන්දි ඉස්සරහ මහ බරපතල චරිතයක් රඟපාන්න. ඒ වෙලාවට මං කියන දේවල් තේරුංගන්න එයා අමාරුවෙන් උත්සාහ කරන දිහා බලබලා මං කෲර සතුටක් විඳිනවද මන්දා......මං දන්නෙ නෑ ඇත්තටම.
එයත් නිකං හිටියෙ නෑ

''රජකරනවා විතරක් නෙවෙයි සුනාමිත් එවනවා. ඒ වෙලාවට මූද අයිනෙ ඉන්න අපි වගේ අහිංසක ජෝඩුත් මරාදානවා''.

සෙව්වන්දියි මමයි දෙන්නම එකම ඉස්කෝලෙට ගියේ. එයා විභාගේ කෙරුවේ එකපාරයි. විද්‍යාපීඨ යන්නත් එයාට ලකුණු මදිවුනා. ලකුණු තිබුනත් යන්නැති බව දැනං හිටියෙ මං විතරක් නෙමෙයි. එයාට දුප්පත්කම ඒ තරමටම ප්‍රශ්නයක් වෙලා තිබුනෙ. ඒ හින්දාම ප්‍රතිඵල එන්නත් කලින්ම කටුනායක ගාමන්ට් රස්සාවකට ගියා. අපේ තාත්තා කෙරුවෙත් වත්තක ඩ්‍රයිවර් වැඩක්. ඒත් මම දෙවෙනි පාරටත් විභාගෙට වාඩිඋනා. එයා පඩි අරගෙන ගෙදරටත් යවලා මටත් එව්වා. හැම මාසෙකම මේ දේ සිද්ධඋනා.

දැං මං කැම්පස් ඇවිත් අවුරුදු දෙකක් වෙනවා. තාමත් මහපොළට අමතරව සෙව්වන්දිගේ මාසික ආධාරෙත් හම්බවෙනවා - ඉස්සරට වැඩිය ටිකක් වැඩියෙනුත්. එයා දැන් ප්‍රමෝෂන්. සුපවයිසර්.
දන්නවද?...මට කැම්පස් එකෙත් තව කෙල්ලෙක් ඉන්නවා. එයා කරන්නේ සමාජවිද්‍යාව විශේෂ උපාධියක්. ඒ උනාට එයා නොදන්න රහස් කොච්චරනං මේ සමාජෙම තීනවද?

''ඔයාට තව කොච්චරකල් කැම්පස් ඉන්න තියෙනවද''?

''අතරමග වැහුවෙ නැතොත් තව අවුරුදු දෙකයි.''

''එච්චරකල් .....'' සෙව්වන්දිගේ දිලිසෙන ඇස් ඉස්සිලා මං දිහා බැලූවා.

හුළඟ හරිම අකීකරු වෙලා.එයාගෙ කොණ්ඩෙ මූණෙම පටලෝනවා. ඉතිං මට කිචි. මම වම් අතින් කොණ්ඩෙ පිටිපස්සට කරලා වම් අත කොණ්ඩෙට උඩින් තියාගත්තා. මට මතක් උනේ ලින්ටන් සේමගේ ගේ ''මගේ වම් අත'' චිත්‍රපටිය. ඒකේ කථානායකයා පික්පොකට් කාරයෙක්. අහිංසක ජීවිත වලට හිංසාවාදී තට්ටු දාන මමත් එක්තරා විදියක පොකට් කාරයෙක් තමයි. නඟවා පවුලක් නඩත්තු කරන්න හොරකං කරනවා. පොලීසිය,උසාවිය,හිරගෙදර ඌට හුරුපුරුදුයි. මට නුපුරුදුයි. වෙනස එතනයි.

''මං එච්චර නරක නෑ'' මම හිතුවා.
''වැඩි ලකුණු අරගෙන ෆයිනල් එක පාස්උනොත් මට කැම්පස් එකේම ලෙක්චරර් පෝස්ට් එකක් ඉල්ලන්න උනත් පුඟවන්. එහෙම උනොත් ඊළඟ උපාධි කරන්න රට උනත් ගියහැකි''

''එතකොට මම.......?''
ආයෙමත් ඒ ඇස් දිලිහුනා.

''එහෙම උනොත් ඔයාට තව ටික කාලයක් ඉවසන්න වෙනවා කෙල්ලේ''

''මූදට සීමාවක් නැතිඋනාට මගේ ඉවසීමට සීමාවක් හදලා හරි දෙන්න''
ඒකනං අන්ත අසරණ ආයාචනයක්.
කොච්චර ජරා අදහස් තිබුනත් මගේ පපුවත් හෝස් ගෑවා. මම සෙව්වන්දිගේ මූණ මගේ දෙඅත්ලට මැදිකරගත්තා. ඒ ලස්සන මූණ දැන් මට සමීප රූපයක්. මෙච්චර දුක් විඳිද්දිත් මේ කෙල්ල මෙච්චර ලස්සන වෙන්නෙ කොහොමද? අංශු මාත්‍රයකින්වත් වැහැරිල්ලක් නෑ ඒ රූපෙ. මේ කෙල්ලගේ හිත හොඳයි. සෙව්වන්දි කියන්නේ රෝස මලට එයාට ඒ නම ඝන පිහිටුවලා දැම්මේ අස්සජි හාමුදුරුවෝලූ.
සෙලෝලයිඩ් හිතුවිලි පටිය සුපර්සොනික් වේගෙයෙන් ඉගිලූනා.

''උපාධි කරලත් රස්සාවල් නැතුව හුඟදෙනෙක් ඉන්නවා නේද?''
ඒ ප්‍රශ්නෙටනං මාව ටිකක් ඩිම් උනා. ෆයිනල් ඇනුනොත් ඇනුනම තමයි. කෙල්ලන්ව රවට්ටනවා වගේ නෙමෙයි ජීවිතේ හරිම අමාරුයි. ඒත් පවු කරල ඉපදුන මේ ගොන් නාම්බට හපුතල් කන්ද නගින්නම වෙනවා.

''මම ට්‍රයි කරලා බලනවා රස්සාවක් හොයාගන්න.බැරි උනොත් මමත් එනවා ඔයාගේ ගාමන්ට් කලාපෙටම.''

''අපෝ හීනෙකින්වත් එන්න එපා ඒ රස්සාවට''.
එයා මට එයාගේ දෙඅත්ලම පෙන්නුවා. ඇඟිලි දහයෙන් හත අටකම මුල කරගැට ඇවිල්ලා.

''මේ මොකද මෙච්චර කරගැට?''
''රෙදි මනින්න කෝදුව අල්ලනවනෙ හැම තිස්සෙම ඒකයි.''
මගේ කැම්පස් පෙම්වතීගෙ දකුණු අතේ මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි අගිස්සවල් අනික් ඇඟිලිවලට සාපේක‍ෂව ඝනකමයි. ඇයි ඉතිං කියවන නෝට් එක අනික් අතට ලියනවා. ඉතිං පෑන අල්ලන ඇඟිලි ගොරෝසු වෙන එක අහන්නත් දෙයක්ද?
මේ අස්සෙ අපි වාඩිවෙලා හිටිය බංකුව ගාවට අන්නාසි කාරයෙක් ආවා.
''අන්නාසි කෑල්ලක් කමු නේද මල්ලි'' ඌ වෙළඳාම කරන්නෙත් පාට් එකෙන්. කෙල්ල ඉස්සරහ නෝණ්ඩි වෙන්න බැරි නිසා කොල්ලො වෙස්සන්තරලා වෙනව කියන ආර්ථීක විද්‍යා තියරිය ඌ හරියටම ඉගෙන ගෙන තියෙනවා.

''කෑලි දෙකක් දෙන්න''
මගේ වචන තුනට පුඟවන් උනා සෙව්වන්දිගේ පර්ස් එකේ තවත් ගානකට විදින්න.
හොස්ටල් එකේ බිත්ති පුරාම වමේ පොරවල් හිනාවෙනවා. ඒත් මට ඕනෙ වම දකුණෙන් ඕවර්ටේක් කරන්න. ඒකට සල්ලි ඕනෙ මට නැත්තෙත් එව්වමයි. 

''සෙව්වන්දි ..... මට රුපියල් පන්සීයක් දෙනවද ? අනුරාධපුරේ යාළුවෙක්ගේ ගෙදරක පිරිතකට යන්න තියෙනවා''

''ලබන සුමානෙ පඩිනෙ එතකොට දෙන්නම්''

''හ්ම්''
කොළඹ අහස ඩිංගක් විතර කළු කරා.
''දෙයියනේ වහින්න නං එපා හෙට වැඩට අඳින්න තියෙන්නෙත් මේ ඇඳුමමයි.''
සෙව්වන්දි අහස දිහා බලාගෙන කිව්වා.

''මමත් මාසයක් තිස්සෙම පට්ට ගහන්නේ මේ ඩෙනිම තමයි'' මම එහෙම කියන්න හිතුවත් කිව්වෙ නෑ. කිව්වනං අනිවාර්යෙන්ම ඊළඟ පඩියෙන් ගෙදරට යවන කොටහ අඩුකරල හරි මට සල්ලි දෙයි. කලිසමක් ගන්න කියලා.
වැඩිය කඩන නරක ළමයෙක් වෙන්න හොඳ නෑ

''මොකක්ද අනේ එකම කලිසම හැමදාම අඳින්නේ ලැජ්ජා නැද්ද''කියලා කැම්පස් පෙම්වතී දවසක් කිව්ව.
හොම්බට දමල අනින්න හිතුනත් ඒක කෙරුනෙ නෑ. කවදා හරි බඳින කෙනා අධ්‍යාපන මට්ටමෙනුත් සම උනොත් හොඳයිනෙ. මම එහෙම හිතුවා.

''ගඟෙන් දිය බීල මුහුදට ආවඩන්න එපා යකෝ '' මගේ යටි හිත මට කිව්වා.
''අපි යමුකො අනේ ආයි දවසක කඵතර බෝධි, ගෙදර යන ගමන්ම යමුකෝ''
''යමු''
මාත් ඕනෑවට එපාවට කියල දැම්මා.
සෙව්වන්දිත් එක්ක බුදු පිළිමයක් ළඟට ගිය වෙලාවට ඇත්තමයි මං මාර විදියට අප්සට් වෙනවා. මම කරන්නේ දිට්ඨධම්ම වේදනීය කරුමයක් කියල මට ඇඟටම දැනෙන්නේ ඒ වෙලාවට තමයි.මට නං යන්න අපායක් නෑ.

''පහමාරයි අපි යමුද ඔයාට රෑ වෙනවනේ'' මම ඇහුවා.මම දන්නවා එයාට ඕනෙ තව ටික වෙලාවක් මං ළඟින් ඉන්න.

''ලබන ඉරිදත් එනවා නේද?''
බංකුවෙන් නැගිටින ගමන් එයා ඇහුවා.

''හ්ම්''
ගෝල්ෆේස් හෝටලේ ආඩම්බරෙන් අපේ දිහා බලං ඉඳියා. පරණ පාර්ලිමේන්තුව ඉස්සරහා හිටපු නායකයින්ගේ පිළිම ටික මූදටම විරිත්තගෙන ඉන්නවා. සෙව්වන්දිව කොටුවෙන් එයාපෝට් බස් එකක නග්ගලා මම පුංචි බොරැල්ලෙ හොස්ටල් එකට යනවා.
ලබන සතියෙත් එයා මගේ අතේ කීයක් හරි මිට මොළවයි අද වගේම.
වවුල්ලූ රෑනක් කොටුවෙ ස්ටේෂන් එකට උඩින් වරාය පැත්තට පියෑඹුවා.
103 බස් එකක් අහස් පාලම මුලම නතරකෙරුවා.
මම පය ඉක්මන් කරා. 






අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි


Sunday, April 26, 2015

මඩකළපුවෙන් ආවට


 





මඩකළපුවෙන් ආවට
මඩ ගාන්න එපා ජාතියට
පටවගෙන සුදු වෑන් එකේ මරල දැම්මට
ආදරේ මැරුණෙ නෑ තාම
නම ලියල හීරුවට බරක් නෑ
කැටපත් පවුරට

 
අප්පව මරපු කාශ්‍යප
බඹර විසේට රොන් ගන්න
නෙළුම් සුවඳ ලියන් එක්ක
පණ රැකගන්න හැංගුන සීගිරිය

අපි හිටියෙත් බයෙන් ගැහි ගැහී
කාශ්‍යපට වඩා ගොඩක්
බඹරු අහිංසකයි හත අටක් ඇන්නොත් මැරෙයි
බුලට් පියෑඹුවෙ අප්පව මරපු කාශ්‍යප වගෙයි

ලේ බිංදුවට වටිනාකමක් දුන්නු ඒ පොළොව
පිළී ගඳින් වෙන් කරා අපිව ඔහෙලව
ඉඳ හිටල මාළුවෙක් සිංදුවක් කිව්වට
අපි අප්පුඩි ගැහුවෙ බයට

අපි මඩකළපුවෙ දෙමළ
යාපනේ හදවත් උණු නෑ
අපේ කඳුළු ළඟ
හැබැයි උඹලට අපිත් දෙමළ

ආදරේ කරපු පපුවට
වෙඩි වැදිල ලේ පොඟල වැල්ලට
වැටිල හිටපු දුක ආවා මතකෙට
ඒකයි රිද්දෙව්වෙ කැටපත් පවුරට

ඉස්සරත් මේ පවුරෙ ලිව්වෙ
මං වගේ දුක දැණුනු උන් වෙන්නැති
ඒත් දැන් උන් කවියො
මම ත්‍රස්තවාදිනිය

නිමිත්ත - මඩකළපුවෙන් පැමිණි තරුණියක් කැටපත් පවුරේ ඇගේ පෙම්වතාගේ නම ලියයි. ඇය ඊට වරදකරුවී දෙවසරක් හිරේ යයි. ඇගේ පෙම්වතා සුදු වෑන් එකකින් පැහැරගෙන ගොස් පසුව මිනිය හමුවී තිබුනේ වසර ගණනකට පෙරදීය.......!


වෙඩිල්ලක්


කොළඹ අහස මට නුහුරුය. ඒ රෑටත් එළිය නිසා විය යුතුය. වාට්ටු කවුළුවෙන් මම ඔහේ බලාගෙන හිඳිමි. තරුවක් දකින්නට හිත ආසා කරන බව දැනේ. ඒත් පොළොවෙන් ඉහළට එසවුනු ගොඩනැගිලි ආලෝක ධාරා නිසා තරු හැංගී ගොස්ය. දවාලට නම් කුරුල්ලෙක් දෙනෙක් පියාඹනවා බලන්නට හැකිය. බොහෝ විට ඒ කාක්කන්ය. කොළඹින් හද්දා ඈත ඉපිද වෙල්ලමුල්ලි වෛක්කාල් හි වෙඩිකා ඇද වැටුනු මගේ ජීවිතය හරිම පුදුමයකි මට. මගේ ගම හීතලය. මධ්‍යම කඳුකරයේ සීතල කඳු වළල්ලක මැද පිහිටි ඒ ගමට සැතපුම් ගාණක් දුරින් බස් රථයක් නවත්තන්නේ දවසටම දෙපාරකි. තුවක්කුව අතට ගත් දා පටන් මා අනුයුක්ත කෙරුණේ ගිණි රස්නෙන් දැවෙන උතුරුකරයේ යුධ බිම් වලය. ඒ යුද්ධයේ අවසාන කාලයය. පණ නැති පාදය හා දෑත සමග අනුරාධපුර රෝහලෙන් කොළඹ මහ රෝහලට මාව මාරුකර එවා දින දෙකකින් ප්‍රභාකරන් මිය ගියේය. ඒත් ඒ වගක් මා දැනගත්තේ ඉන් මාසෙකුත් දවස් ගණනක් ගතවූ පසුය. එතෙක් මා අවසිහියෙන් සිට ඇති අතර යන්ත්‍රයක් මට ජීවය දී තිබේ.



අපට ජීවිතයේ එක් එක් කාලයන්හිදී යන්ත්‍රයන් විසින් ජීවය පිඹින බව මම දැන් විශ්වාස කරමි. ඇතැම් විට මිනිස් යන්ත්‍රද ඇතැම් විට මිනිසා විසින් නිපදවූ යන්ත්‍රද විය හැක. මගේ අම්මා සහ අප්පච්චි මට ජීවය පිඹින ලද අතර ඉන්පසු මා ජීවය ලද්දේ ඇයගෙන බව කිව යුතුමය. කොටි හමුදාවේ උණ්ඩයක්  මගේ තුණටිය සිදුරු කර මා අඩපණ කරන්නට පෙර මැලේරියා මදුරුවෙකුගේ දළයක් මා සිදුරු කර එලොවටම ගෙන ගොස් නැවත ගෙනැත් හැරලන ලදි. ඇය එකල්හි මට සුවිසල් ජීවයක් පිම්බාය. ගමේ පන්සලේ බෝධිය නහවමින් පූජා පැවැත්වූ ඇයගේ ආදරය සිරිමා බෝධියේ කොළ සෙළවෙන මිහිරි නාදය සේ මට දැණිනි. ඇගේ ආදරයේ සුවඳ ආඝ්‍රාණය කළ මැලේරියා මදුරු විෂ මා අතහැර ඉක්මනින්ම යන්න ගිය අතර යුද්ධයේ උග්‍රම කාලය වූ බැවින් මමද ඉක්මනින්ම උතුරු යුධ බිමට ගියෙමි.


තවත් පරක්කු නොකර අපි බඳිමු  ........  ඇය මට විටින් විට කියන්නට ගත්තේ මේ අතරය. අපේ අම්මා සමග ඇගේ මව කතාකරන විට අපිට තව වයස ඇති බව අපේ අම්මා කියූ බව දිනක් ඇය කීවාය. එතැන් පටන් ඇය හැසිරුණේ මගේ අම්මාගේ වෛරක්කාරියක් ලෙසිනි.


විසි අටක් කියන්නේ අඩු වයසක්ද? ඔයාගෙ අම්මට ඔයාව පොඩි උනාට ඔයා දැන් වයසයි ගොඩක්. ඇය නිතරම කියන්නට වූවාය. අම්මා එසේ කියුවේ කුමක් නිසාදැයි මම නොදනිමි. ඇය මට වඩා සත් වසරක් බාල නිසා එසේ කියූවා වන්නටත් පුළුවන. මට ඒ ගැන අම්මාගෙන් අසන්නට ගොස් ඇගේ හිත පාරන දෙයක් කියන්නත් බැරිය. දිනෙන් දින විවාහ වන වයස පසුකරමින් මගේ වියපත් වීම ඉවසන පෙම්වතියගේ සිත සුවපත් කිරීමද ඉතාමත් අසීරුය. එහෙත් ඇය බලාපොරොත්තු වන ආකාරයේ මංගල්ලයක් සඳහා අවැසි මුදල් හදල්ද මා ළඟ නොමැත. ණය වී මගුල් කා ළමයිනුත් උස් මහත් වන තුරු ණය ගෙවන්නටද මට නොහැක.


මම නිවාඩුවට ගෙදර ආ විට හිතේ සතුටින් සිටියේ දවසක් නැත්නම්  දෙකකි. ඇය විවාහය සඳහා දින නියම කරගැනීමට උත්සාහ ගැනීමත් ඒ සඳහා මා තවම සූදානම් නොවීමත් නිසා අපි අතර රණ්ඩු ඇති විය. ඇතැම් විට මම නිවාඩුව අවසන් වීමට පෙර නැවතත් පිටත්වී යන්නට පවා පුරුදු වී සිටියෙමි. යුද්ධය අවසාන අදියරේදී ගෙදර සහ පෙම්වතිය සමග තිබූ සන්නිවේදනය ඉතාම දුරස් විය. ඇය තවත් මා සමග ඇති කළකිරීමට ඉන් වර්ධනය වන්නට ඇතැයි සිතමි.


කොටි උණ්ඩය මා සොයා ආවේ මේ සියල්ල අතරය.  බෙල්ල ඒ මේ අත හරවන්න පුළුවන් වුවද වම් අත සහ පාදය සොලවන්නට නොහැකි අංශභාග රෝගියෙකුගේ තත්ත්වයට මම පත්ව සිටියෙමි. පුනරුත්ථාපන රෝහලෙන්ද එතරම් සුවයක් නොලද තැන සිංහල වෙදකම් සඳහා ගමට ගියෙමි. නැවත වරක් ඇය නිතරම දැකීමට ඒ නිසා මට හැකි විය. ඇය ඇගේ මව හෝ මල්ලි සමග නිතරම මා බලන්නට මගේ ගෙදරට ආවේ අපේ ගම්වල රකින සිරිත් විරිත්ද නොසලකා හරිමින් මා වෙනුවෙන් ඇති ප්‍රේමය නිසා බව මම දනිමි. ඇය එසේ ඇවිත් යන හැම විටකම මම කාටත් හොරා හඬමි. ඇයට මා ගැන මහත් දයානුකම්පාවක් ඇතිවි තිබෙනු විය යුතුය. එසේම ඇයගේ සිහින බොඳවී යාම ගැන ඇය කණගාටුවෙන් ඇති බවද මට දැනෙන්නට විය.


වෙද ගෙදර ගොස් තෙල් සාත්තු කරවාගෙන නැවත මැස්සක තබා ගෙන මාව ගෙදරට රැගෙන ඒම අපේ ගෙදරට පුරුද්දක් වන්නට වැඩි කලක් ගියේ නැත. ගමේ සියල්ලෝම රණ විරුවෙකු වෙනුවෙන් තමන්ට දිය හැකි උපරිම සත්කාරය ලබා දෙන්නට කැපවී සිටියහ. ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් බෝධි පූජා සංවිධානය විය. එහෙත් සතුටක සේයාවක් මා අසළක නොරැඳිනි. ඈ කුමක්දෝ දෙයක් සිත යට තෙරපගෙන සිටින බව මට දැනෙන්නට පටන් ගෙන තිබුනි.


මගේ සැකය සැකයක් නොවන තැනට පැමිණියේය. ඇය නැවත වරක් මා හා සමඟ රණ්ඩු කතා වලට මුල පිරුවාය. මගේ ඇඳ අසල පුටුවක වාඩි වන ඇය ඇගේ දුක මා සමග කියන්නට පටන් ගන්නා විට මට කළකිරීමක්ද කේන්තියක්ද මුසු හැඟීමක් පැමිණේ.


.... මම කියපු කාලෙ අපි කසාදයක් බැඳ ගත්තනම් අද මට ඔයා ළඟට වෙලා සාත්තු කරන්න තිබුනා. අද මට හිතෙන වෙලාවට ඔයා ළඟට එන්නවත් බෑ. අනික මෙහෙම එනකොට ගමේ උන් දාහක් කතා කියනවා....... ඇය කියවගෙන යයි.

.... ඔහොම කතාකරන්න එපා. මේව මම හිතල කරගත්තු දේවල් නෙවෙයි. මටත් ලස්සන මගුල් ගෙයන් කසාද ජීවිතයක් ගැන හීන තිබුනා ....... මම කියා ගෙන යමි.

...... මේවට වගකියන්න ඕනි ඔයාගෙ අම්මා. එයා තමයි මේක පරක්කු කරමු කිව්වෙ. දැන් හරිනෙ. අයියෝ මගේ ජීවිතේ.... .. ඇය විටෙක හිස බිත්තියේ ගසයි.

.... මම ඉන්න තත්ත්වෙ ගැන හිතන්න. මට කේන්ති ගන්න බෑ. එහෙම උනාම මට හරිම අපහසුවක් දැනෙන්නෙ..... මම කියමි එහෙත් ඇයට ගාණක් නැත.


කාගේ හෝ මගුල් ගෙදරක තැන්කියු කාඩ් එකක් දුටු විට ඇගේ මුහුණ මැලවී යනවා මම දකිමි. හිතවත් තැනෙක කාන්තාවක් හෝ ඇගේ යෙහෙළියක් ගර්භනී වී ඇති බව ඇසුණු විට ඇය මට දුරකථන ඇමතුමක් ගනී. මම පණ ඇති දකුණතින් මොබයිලය ගෙන ඇමතුමට පිළිතුරු දෙමි.

... අපිට ළමයි හදන්න බැරිවෙයිද? ...

... අපි සිංහල වෙදකම් කරල බලමු මැණිකෙ.. මේකෙන් ගුණයක් එයි දෙයියනේ කියල ......

..... ඔයාට දැන් වයස තිස් එකක්. අපි බැඳල බබෙක් හදද්දි ඔයාට තවත් වයසයි. බබා ලොකු වෙද්දි අපිට එයා එක්ක ඉන්න කාලයක් නැති වෙනවා. මේව ඔයාගේ අම්මලට තේරන් නැද්ද? ....... ඇය හැඬූ කඳුළින් කියව ගෙන යයි.


වරක් මගේ ඇඳ ළග සිට ඇය මෙසේ කියවමින් සිටින අතර කේන්තිය වාවා ගත නොහැකි මම ඇගේ කම්මුලට ගැසූවෙමි. ඇගේ ඇස් ලොකු විය. එවැන්නක් ඇය කිසි විටක බලාපොරොත්තු වූවක් නොවීය. ඇය මගේ කේන්තිය ඇවිස්සූ බව සැබෑය. එහෙත් ඇයට පහරදීම පිළිබඳව ඇගේ දෑසින් ගලන කඳුළු හමුවේ මම පශ්චාත්තාප වීමි. සියළු දුක් ඉවසමින් ඈ මා සමග සිටින්නීය. මා ඊට ගරු සරුවක් නොකරන්නේ යැයි මට හැඟෙන වාර අනන්තය. එහෙත් මා කුමක් කරන්නද? දැන් ඇයව කැන්දා එන්නට මගේ ගතට වෙරක් නැත.

අම්මා ගෙන් පළිගන්නා බව විටෙක ඇය කියන්නට වූවාය. ඒ කුමටදැයි මම ඇසීමි. ඇගේ විවාහය ඉක්මන් කරන්නට උවමනා නොකළ නිසා නංගීගේ මංගල්ලය ගැනීමට ඉඩ නොදිය යුතු බව ඇය කීවාය.


... මගේ පවට මගේ නංගි පළි නැහැනෙ... මම කීවෙමි.

..... මම අංශ භාගෙ ලෙඩෙක්ව භාර ගත්තෙ. මම කරන කැපවීම කවුරුවත් තේරුම් ගන්නැත්නම් අනික් අයත් මගුල් කන්න ඕනෙ නෑ .... මට වෙන අය මගුල් ගෙවල් ගන්නව දකිද්දි පුදුම කේන්තියක් එන්නෙ ........ ඇය බොහෝ විට මට කියයි. මමද උඩුබැලිව ඇගේ කතා අසා සිටිමි.

... මං ගැන දුක නැද්ද ... මම අසමි.

... කවුරුවත් මං ගැන දුක් වෙන් නෑනෙ .... ඇය කියයි. ඇයට මාවද පවුලේ අයවද ආත්මාර්ථකාමීන් ලෙස පෙනෙන්නට පටන් ගෙන තිබිණි. ඇගේ සිතුවිලි වෙනස් කළ යුතුම වුවද එය කරන ආකාරය මම නොදැන සිටියෙමි.


අපේ සම්බන්ධය ආරම්භ වූ මුල් කාලයේ මම කිසිසේත්ම යහපත් පෙම්වතෙක් නොවුනෙමි. යුද්ධයේ භීෂණය ගෙදර ආ විට ඇගෙන් පිටකරන්නටද ඇතැම් විට මම කටයුතු කළෙමි. ඇයට අනන්ත පහර දුන්නෙමි. ඇගේ වැරදි යැයි මට සිතෙන දේ ඇගේ ඥාතීන් සමග කීවෙමි. ඉන් ඇය නෑයින් අතර අපහසුවට පත්වූ අවස්ථාද තිබිණි. වැරදි හදාගෙන හොඳ මිනිසෙකු වන්නට පොරොන්දු වුවද විගස ඒ පොරොන්දු මගේ අතින් කැඩී ගියේය. දැන් ඇය මගෙන් පළිගන්නේ ඒවාටදැයි මට සිතේ.   


.. මට හිතට දුක ආවම ඔයාට බණින්න දෙන්න. ඒකෙන් මගේ දුක නිවෙනවා. හැබැයි මම ඔයාට ලෙඩා කියනවා. කොන්ද පණ නැති එකා කියනවා. ඔයා ඒ සේරම අහං ඉන්න ඕනි. ඔයා හැදිච්චි කෙනෙක් උන දවසට මම ආයෙත් අර ඉස්සර හිටපු අහිංසකී වෙන්නම් ....... දිනක් ඇය කීවාය.


මම පොරොන්දු වීමි. එහෙත් ඇයට හිතට දුකක් එන විට මට බනින්නට ගනිද්දී දවසක් ඉවසන මම දෙවෙනි දවසේදී ඇයට අසුවූ දෙයින් පහර දෙන්නට පටන් ගතිමි. මට මාවම පාලනය කර ගත නොහැකි විය.

... අංගුලිමාල ඇඟිලි කැපුවට බුදුහාමුදුරුවො අංගුලිමාලගෙ ඇඟිලි කපල නෙවෙයි නිවන් මග පෙන්නුවෙ. මගෙනුයි අපේ අයගෙනුයි වැරදි උනාට ඔය වගේ පළි ගන්න එපා.  ඔයාගෙ පළිගැනීමේ අවසානය මොකක්ද? මම ඇසීමි.

... මට හම්බෙච්ච දුක ඔයාලටත් දැනෙන්න ඕනෙ. මගේ ජීවිතේ පහුවෙනවා ඔයාලට ගාණක් නෑ. එදා මම කියපුදේ කරා නම් මෙහෙම වෙන්නෑ..... ඇය කියයි.

... ඔයාට මට යටත් වෙලා ඉන්න බැරිනම් ආයෙ අපි කවදාවත් කතා නොකර ඉමු....... දිනක් ඇය දුරකථන ඇමතුම විසන්ධි කළාය.


කෙනෙක් තමන්ට රිදවන විට ඒ කෙනාටත් රිදවනවාට වඩා ඒ කෙනා සිටින තත්ත්වය කුමක්දැයි අවබෝධ කරගැනීමට පුළුවන්නම් තමන් පරිණත පුද්ගලයෙකු වනු ඇති බව කොහෙන් හෝ අසා ඇති බව මට මතකය. මට අනුව මම ඇය තේරුම් ගතිමි. ඇයට මා වැනි අංශභාග රෝගියෙකු නිසා ඇයගේ සිහින වියැකී යනු ඇතැයි නියත බියක් හටගෙන තිබෙනු විය යුතුය. එක්කෝ කවුරුන් හෝ ඇගේ හිතට විස පොවනු විය යුතුය. මගෙන් විය යුතු යුතුකම් කිසිවක්ම ඇයට දැන් නොලැබේ. ඇයට ඇත්තේ අන් අය සතුටින් සිටිනු බලා සුසුම්ලෑම පමණි. මටද මගේ ශරීරය වෙද්දුන්ට භාර දී උඩ බලා සිටිනවාට වැඩි දෙයක් කරන්නට හැකියාවක් නැත.



සිංහල වෙදකමින්ද ඵලක් නොවුනු තැන වෙනත් බටහිර ස්නායු වෛද්‍යවරයෙකු සොයා මහරෝහලට පැමිණියෙමි. සැත්කමක් කළ යුතුයැයි ඔහු නිර්දේශ කළේය. සැත්කම අවසානය. දැන් මා ගෙදර යා යුතුය. ඇගේ සුවඳ හැමතැනම මුසුවුනු ඒ ගෙදරට මම නැවත යන්නේ කෙසේද අහසේ ඉගිල්ලෙන නමක් නොදන්නා කුරුල්ලෙකු දෙස වාට්ටුවේ කවුළුවෙන් බලමින් මම සිතන්නට පටන් ගතිමි. 

අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි