Sunday, May 29, 2016

උඹලාගේ හොඳ හිත් හන්දා - පොඩි උන් වෙසක් කූඩුත් බැන්දා


සුමිත් කලණසිරි නැත්නම් අපේ (කල්‍යාණමිත්‍ර) කමියා මං ඇස් දෙකට දැකල නෑ - හැබැයි අපි බ්ලොග් ලෝකෙත් ෆේස් බුක් එකෙත් යාළු මිත්‍රයො. මං දැක්ක දවසක් කමියා මොණරාගල පැත්තෙ ඉස්කෝලෙකට වතුර පහසුකම් අරං දෙන්න යාළුවො සැට් එකකුත් එක්ක කරපු වැඩක් ගැන බ්ලොග් පෝස්ට් එකක්.

කකුලත් කඩාගෙන රස්සාවත් නැතිකරගෙන ගෙදරට වෙලා ඉද්දි ඒ වගේ විස්තර අහද්දි ඒවට සහභාගිවෙන්න බැරි බව දැනෙද්දි දුකක් මිසක් වෙන අහවල් එකක් දැනෙන්නද?

පිට යන එක ජම්ම ගතිය වගේ කතාවත් පිට යන්න දෙන්න බෑ. කමියගෙන් පටන් ගත්ත කතාවෙ මුල මේකයි.

ඌරගොඩ කණිෂ්ඨ විද්‍යාලය පිහිටල තියෙන්නෙ කළුතර දිස්ත්‍රික්කෙ අගලවත්ත ආසනයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙ ඌරගොඩ කියන ගමේ. මේ ඉස්කොලෙ අවුරුදු සීයකට කිට්ටු ඉතිහාසයක් තියෙන පරණ ඉස්කෝ‍ලෙයක්. හැබැයි පටන් ගත්තා වගේම හරි අපූරුවට කිසිම සංවර්ධනයක් නැතුව තිබිල අන්තිමේ අවුරුදු 15කට විතර කලින් වහල දැම්මා.

ගමේ මිනිස්සුන්ට මේනියාවක් තියෙනවනෙ නගරෙ ඉස්කෝලෙකට තමංගෙ ළමයව දාගන්න. ඒ වගේම ගුරුවරුන්ටත් මේනියාවක් තියෙනවනෙ තමංගෙ ගේ කිට්ටුව තියෙන ඉස්කෝලෙට ඇවිත් ආතල් එකේ ඉන්ටර්වල් ගන්න. ඔන්න ඔය සන්තෑසියමයි මේ ඉස්කෝලෙට වුනේ. අම්මලා තාත්තලා පගාව දීලා හරි නගරෙ ඉස්කෝලෙට නැත්තම් ඌරගොඩ ගමට හැතැප්ම ගාණක් එහා තියෙන වලගෙදර මහා විද්‍යාලෙට ළමයි දැම්මා. ඒ වගේම ගමේ සහ ගමට ආසන්න ගම්වල ගුරුවරු ගුරුවරියො ටික (අද කාලෙ නම් ළමයි උගන්නයි උන්ට - කැකිරි පිපිඤ්ඤා වගේ) මේ ඉස්කෝලෙට ආවා. ළමයි අඩු වුනා ගුරුවරු වැඩි වුනා. ඉගෙන ගන්නවා වෙනුවට හිටපු ළමයි එකා දෙන්නත් ගුරුවරුන්ට ටොයිලට් යන්න වතුර අදින්නයි ගුරුවරුන්ගේ ගෙවල් වලට ගිහිං තේ බෝතල් ගේන්නයි පටන් ගත්තා. අන්තිමේ ඉස්කෝලෙ වැහුවා.

ඌරගොඩ ගමට ප්‍රවාහන පහසුකම් හරිම අඩුයි. ගම හරහා බස් දෙකක් දවසට තුන්පාරක් යනවා සමහර දාට බස් දෙකම නෑ. පාසල් වෑන් රථ වලින් මතුගම ටවුමට ළමයෙක් යවන්න මාසෙට රුපියල් දෙදා‍හක් විතර ගන්නවා. ගමේ වහල තියෙන ඉස්කෝලෙ දිහා බල බල ළමයි මතුගම ටවුමට ඉස්කෝලෙ ගියා.

හැබැයි කැක්කුමයි ඇම්මයි කලවම් වුන මිනිස්සු කීප දෙනක්ට මේ ඉස්කෝලෙ ආයෙමත් පටං ගන්න හීනයක් ආවා. උන් ටික දේශපාලකයෝ පස්සෙයි අධ්‍යාපන කන්තෝරු ගානෙයි ගාට ගාට මේ ඉස්කෝලෙ ආයෙමත් විවෘත කරල දෙන්න කියල ඉහළ තැන්වලට ඇවිටිලි කරා. මුල් කාලෙ හැමෝම කිව්වෙ ඕක හරියන් නෑ කියලයි.

කම්මැලි නිලධාරියො අතරෙ හොඳ මිනිස්සු එකෙක් දෙන්නෙක් හරි ඉන්න හින්දා කොහොම හරි ඉස්කෝලෙ පටන් ගන්න තැනට වැඩ යෙදුනා. අර කැක්කුම්කාරයො ටික තමන්ගෙ අතිං වියදං කරගෙන ඉස්කොලේ ගරා වැටෙන්න ගිය ගොඩනැගිලි දෙකෙං එකක් ගොඩගන්න උත්සාහ කරා. සමර ගෑවා බිත්තිවල ඇයි ඉස්කෝලෙ වත්ත පුරා වැවිල තිබුනෙ කැලේ කපල පිරිසිදුත් කරා.

මේ උත්සාහය ආරංචි වුන ජර්මනියෙ සුදු මහත්තයෙකුයි බේරුවල මුස්ලිම් සහෝදර පිරිසකුයි ඉස්කෝලෙට උදව් කරා. මුස්ලිම් සහෝදර පිරිස ළිඳක් කපල දුන්නා පොඩි උන්ට වතුර බොන්න. සුදු මහත්තයා පොත්පත් වතුර ටැංකියක් වගේ දේවල් දුන්නා. කොහොම හරි ඉස්කෝලෙ ආයෙම පටන් ගත්තා. නගරෙට ඉස්කෝලෙ ගිය පොඩි උන් එකා දෙන්නා ආයෙමත් ගමේ ඉස්කෝලෙට ආවා. ප්‍රාථමික විද්‍යාලයක් විදියට එක වසර විතරක් පටන් ගත්තට මොකෝ ටික දවසක් යද්දි දෙමාපියෝ දෙක වසරකුත් ඉල්ලන්න ගත්තා. දැන් එක වසරෙයි දෙකවසරෙයි ළමයි විස්සකට වඩා ඉන්නවා. ප්‍රින්සිපල් සර් කෙනෙකුයි මිස්ලා දෙන්නෙකුයි ලැබිලා පොඩි උන් උනන්දුවෙන් අකුරු කරනවා දකින්න ආසයි.

මේ පිංතූර වලින් පේන්නෙ ජර්මන් සුදු මහත්තයා (ක්ලවුස් ලින්ඩමන්)

හැම ගමකම මේ වගේ මේ කියන ඌරගොඩ ගමෙත් හැම දේශපාන පක්ෂෙකම ආධාරකාරයො ඉන්නවා. හැබැයි කියන්න කණගාටුයි ඒ හැමකෙනෙක්ම වගේ තමංගෙ ගමේ වැහුණු ඉස්කෝලෙ ආයෙ පටන්ගන්න එක වෙනුවෙන් එක දහඩිය බිංදුවක් හෙලුවෙ නෑ. ගමේ ඉස්කෝලෙයක් දැම්මම ළමයව නගරෙ පොෂ් ඉස්කෝලෙකට දාගන්න අමාරු වෙන හන්දා වෙන්න ඇති.

ඉතිං මෙහෙම පටන් ගත්තු ඉස්කෝලෙට කරන්ට් එක තිබුනා නම් මේ පොඩි උන් ටිකට තවත් හොඳින් අධ්‍යාපනයක් ලබන්න පුළුවන් බව වැඩේට මහන්සි වුනු අයට තේරුණා. ඉස්කෝලෙට ලයිට් ගන්න ආධාර ඉල්ලලා මේ අය ගොඩක් තැන්වලට ගියත් වැඩක් වුනේ නෑ.

අලුතින් ආපු ඉංග්‍රීසි මිස් හරිම කැපවීමෙන් ඉංග්‍රීසි කියා දෙනවා‍ ළමයිව හවසත් නවත්තගෙන. මිස්ගෙ ලැප්ටොප් එක දාලා පාඩම් කියා දෙද්දි බැට්රිය ඕෆ් උනාම පාඩමත් ඕෆ් වෙනවා. මිස්ටත් දුකයි ළමයින්ටත් දුකයි. අම්මල තාත්තලටත් දුකයි. ඒක අහපු මටත් දුකයි. ඒත් මං ලයිට් අරං දෙන්නයැ. ජොබකුත් නැතුව අතේ සතේ නැතුව හිරවෙලා ඉන්න වෙලාවෙ.

මම නිකමට වගේ කමියට කිව්වා මචං මෙහෙම වැඩක් තියෙනවා කරන්න පුළුවන් උදව්වක් උඹේ යාළුවො සෙට් එකට කියල කරමුද කියලා? කමියා පරණ මිලිටරි පුරුද්දටද මන්දා එක පාරම 'හා' කිව්වා. කමියට මම විස්තර අරං දුන්නා. කමිය ඊමේල් එකක් යාළුවො හැමෝටම කොපි කරලා පණිවිඩේ දුන්නා.

යකෝ මෙහෙමත් හොඳ මිනිස්සු ලෝකෙ ඉන්නවද? විශේෂයෙන්ම මේ දූපතේ ඉන්නවද? කට්ටිය හෝ ගාල මොකද වෙන්න ඕනෙ කියල අහන්න ගත්තා. කමියගෙ උපදෙස් අනුව මම වයරින් බාස් කෙනෙක් ගෙන් එස්ටිමේට් එකක් ගත්තා. බඩු ටිකට දාහත්දාස් පන්සීයක් යනව. කමිය කිව්වා මචෝ ගමක වැඩක් හන්දා ලෙඩ අදින්න බලන් ඉන්න උන් වැඩියි උපරිම පාරදෘශ්‍යභාවයකින් වැඩේ කරපං කියලා.
(මේ තියෙන්නෙ හාඩ්වෙයාර් එකෙන් දුන්නු බිල් එක)

මේ බිල් එක ඊමේල් සංවාදෙට ශෙයාර් කරාම දුෂාන් කරවිට සහෝදරයා රුපියල් විසිදාහක් දැම්මා මගේ එකවුන්ට් එකට. මම ඒ සල්ලි ටික ප්‍රින්සිපල් සර්ට දුන්නා තව දෙද‍ාස් ගාණක් ඉතුරුයිනෙ. ඒ සල්ලි වලින් වයරින් එක කරා. ගමේ කොල්ලො දෙන්නෙක් ස්වේච්ඡාවෙන්ම වයරින් එක කරල දුන්නා.  

කමියගෙ වැඩපොලේම වැඩකරන අපි වගේම බ්ලොග් ලියන මේ වැඩේ හන්දම අඳුර ගත්තු (මං ගිය ඉස්කෝලෙම දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක් වුන) කැළුම් ප්‍රසාද් ජයසූරිය හෙවත් ලොකුපුතා විදුලි බල මණ්ඩලේට කතාකරල සප්ලයි අරං දෙන වැඩේ ඉක්මන් කරා. 

දුෂාන් කරවිට සහෝදරයගෙ ඉතිරි රුපියල් දෙද‍ාස් ගාණට තව හුඟක් අය එක්කහු වෙලා ඉතිරි සල්ලි දුන්නා. මට නම් වශයෙන් මතක නෑ ( කමියා කමෙන්ට් එකකින් කට්ටි‍යගෙම නම් කියපං මචං මතකනම්). ඒ සල්ලි දාලා සප්ලයි එකට සල්ලි බැන්දා. ඔක්කොටම රුපියල් තිස්අටදාස් ගාණක් ගියා. වයරින් එකට දාහත් දාස් දෙසිය ගාණයි (හාඩ්වෙයාර් එකේ මල්ලි රුපියල් දෙසිය ගාණක් අඩුකරා ඉස්කෝලෙ වැඩේ කියල). සප්ලයි ගන්න විසිඑක්දාහයි.

මං වෙසක් දවසෙ රෑ ඉස්කෝලෙට ගියා. ඇස්වලට කඳුළු එනවා උඹලගේ හිත් හොඳකම දැකලා. පොඩි උන් හැමතැනම වෙසක් කූඩු එල්ලලා. ඒවට බල්බ් දාලා බලන්න ආසයි. උඹල කොයිතරම් හොඳ පපුද? උඹලව ආස්සරේට හම්බවුන එක ජීවිතේ කොයිතරම් වාසනාවක්ද මම පාළු ඉස්කෝලෙ සාලාවෙ ඉඳගෙන හිතුවා. මේ පොඩි උන් දවසක රටට වැඩදායක ලොකු මිනිස්සු වෙයි. එදාට උඹලාගෙ නිහඬ සේවයට තවත් අගය ලැබේවි. 

නරකයො ටිකක් හන්දා දූපතක් වුනාට උඹලගෙ හොඳ ‍කඳු ගහන්න පුළුවන් කමට මේ ලංකාව මහද්වීපයක්. 

මම ඉස්කෝලෙ පිංතූර ටිකක් ගත්තා .








මේ පල්ලෙහා පිංතූරෙ තියෙන්නෙ අනික් හෝල් එක. ඉස්කෝලෙ ටික ටික දියුණු වෙද්දි ඒ හෝල් එකත් හැදිල එයි. තව ගොඩනැගිලි හැදෙයි. එදාට අපේ නම් කියවුනේ නැතිවට කමක් නෑ ඒවා කියවෙනවට උඹල කැමතිත් නැති බව මං දන්නවා. ප්‍රින්සිපල් අහනවා ලයිට් අරං දුන්න මහත්තුරුංගෙ සංවිධානෙ නම මොකක්ද කියලා. මම කිව්වා සර් එහෙම නමක් නෑ සමහර විට එතන සමහර අය හැබැහින් එයාලව දැකලත් නැතුව ඇති කියලා. 

කමියට මේ ටිකේ ටිකක් වැඩ අධික බව කිව්වා. ලොකු පුතත් එහෙමලු. කමියො ලොකු පුතේ අපි නෙළුම් යායෙ තවත් අය සෙට් කරගෙන වෙලාවක ඉස්කෝලෙ පැත්තෙ ගිහිං එමු. දැන් ඉංග්‍රීසි මිස් බැට්රිය බහින් නැතුව ලැප්ටොප් එකෙන් චිත්‍ර අඳින්නත් කියා දෙනවලු පොඩි උන්ට. 

ඔ... බ ... ට ... ස... තු.. ටු...යි....ද .... දැන්.....? ඔව්  සතුටුයි දුවේ පු‍තේ උඹල ඉගෙන ගනිල්ලා. ඉගෙන ගන්න දේ හොරුංට ගන්න බෑ. රටට වැඩදායක මිනිස්සු වෙයල්ලා. එදාට ඉස්කෝලෙට එළිය ගෙනාපු මේ පෝස්ට් එක ලියන මාමගේ යාළු මාමාල නැන්දලට ගොඩක් පිං ලැබෙයි.

23 comments:

  1. Replies
    1. අ... පි ... ට ... ස... තු.. ටු...යි....නෙ .... දැන්...

      Delete
  2. I too became teary for a moment. Well done.

    ReplyDelete
  3. කමියාලා ඇතුලු නෙලුම්යායට සුභ පැතුම්.. දුෂාන්ල වගේ අනිත් අයගේ නම් හොයල දැම්මත් පාඩුවක් නැහැ නේද බං.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඔව් නම් ටිකත් හොයමු මචං

      Delete
  4. දවසේ දෙවෙනි වතාවටත් ඇස්දෙකේ කඳුළු...

    ඉස්කෝලේ ලයිට් බිල ගෙවන්නේ කොහොමද මචං...

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ දෙමාපියො ඒක කරනවා - පාසල් සංවර්ධන සමිතියක් තියෙනවනෙ. දුප්පත් අම්මල තාත්තල තමයි ඉන්නෙ.

      Delete
  5. ඇස්දෙකේ කඳුළු පිරුනා!
    උදව් කල අනිත් අයගෙත් නම් හොයල දාන්න අයියේ. ඒ නම් කියවෙන්න ඕන මෙහෙම හරි.

    ReplyDelete
    Replies
    1. එතනින් නැවතුනානං මදෑ.. කම්මුල් දෙක දිගේ බේරුනානෙ... හි හි...

      Delete
  6. ඔව් බස්සි ඒක කරනවා

    ReplyDelete
  7. කොළඹ ගමයා - අජිත්/ කළ්‍යාණ මිත්‍ර/ ලොකු පුතා/ දුෂාන් කරවිට/ ඔමායා/ ඉයන්/ නදීර විජේසිංහ/ අම්බලන්ගොඩ කතා/ දුමී/ -

    තව කියවුනේ නැත්තං සමාවෙන්න - මෙකී නොකී හැමෝම සල්ලි වලින් වගේම වචයකින් හරි විශාල හයියක් දුන්නා වැඩේ ගොඩ දාගන්න

    ReplyDelete
  8. හැමෝගෙම වැඩේ හදවතින්ම අගය කරනවා.

    ReplyDelete
  9. කිවුවත් වගේ අන්තිම ටිකට එනකොට ඇස්දෙකට කඳුළු පිරුන.
    පොඩි උංගෙ ඇස් පාදන්න උඹල කරල තියෙන කැපවීම උපරිමයි.
    කමියා ඇතුළු සෙට් එකටම පිං.

    ReplyDelete
    Replies
    1. බොහෝ්ම ස්තූතියි මචං

      Delete
  10. ඇස් දෙකේ කඳුලු පුරෝගෙන හිතේ සංතෝසේ දරාගෙන පෝස්ට් එක කියෙව්වා.... මේ බර කරට අරගෙන ඉතාම උනන්දුවෙන් වැඩේ පටන් අරගෙන පොඩි උන්ගේ ඉහේ මල් පුබුදුවන්න, සාර්ථකව වැඩේ පරිපූර්ණ කිරීම ගැන අමිල මල්ලිට මාගේ හද පිරි ප්‍රසාදය.....

    නම් පළ නොකෙරුවාට නම් කමක් නෑ මලේ.... මේක දැකල හිතට එන සන්තෝසෙම ඇති......!

    මීට දුමී අයියා (හෙවත් දුෂාන් කරවිට )

    ReplyDelete
    Replies
    1. නියමයි දූමී අයියෙ !

      Delete
  11. ඇස් වලට කඳුළු පිරැනි..ඔබට මගේ ප්‍රනාමය

    ReplyDelete