Monday, August 24, 2015

දේදුන්නක් අරං එන්න

දේදුන්නක් අරං එන්න
මරදානේ අහස් පාලම ළඟට
වැඩ ඇරී හතරට
දුවන මිනිසුන් අතරට


දේදුන්නක් අරං එන්න
නුගේගොඩ බෝ ගහ ළඟට
රයිස් එකක් පිටි පැකට් එකක් ගන්න
මස විකුණන ළඳුන් ළඟට


දේදුන්නක් අරං එන්න
සිරියාවේ කඳුකරයට
ඉස්ලාම් ලෝකයක සිහින දකින
අයි එස් අයි එස් කැරළිකරුවන් අතරට


දේදුන්නක් අරං එන්න
සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය ළඟට
මේ සිංහල අපගේ රටයි කියන
බොදු බල හිමිවරුන් ළඟට


දේදුන්නක් අරං එන්න
විෂම ලිංගිකයින් අතරට
සමලිංගිකයින්ට ගල් ගසමුයි
මොර දෙන බඩුකාරයින් අතරට


දේදුන්නක් අරං එන්න
ලංකාවේ ඡන්ද දායකයින් අතරට
උඩු රැවුලක් නැත්නම් කොන්ද පණ නැතැයි කියන
ස්වාධිපත්‍යයට අපචාර කරවන මිනිසුන් මැදට


ලෝකය ලස්සනයි නේද
දේදුන්නක් හරහා බැලුවම
එකම පාටට වඩා
පාට ගොඩක් වැටුනම කොයිතරම් ලස්සනද



අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි

Thursday, August 6, 2015

කෙහෙල් මලක් දළඹුවෙක්

සමණළයෙක් වෙන්න 
පාරමිතා පුරන දළඹුවා
තාම පිං මදිව මල් සුවඳ
යනු කුමක්දැයි හොයනවා

කෙහෙල් කඳ පලාගෙන 
කෙහෙල් මල පිපෙනවා
කෙහෙල් කඳ බදාගෙන 
දළඹු ඇස් ලොබ බඳිනවා

සමණල්ලු නාවට 
කෙහෙල් මල ගාවට
දළඹු සිත ආදරේ
මුල් අකුරු ලියනවා

ආදරෙම නොවුනට 
මොකක්දෝ හැඟීමක
කිතිය අරගෙන ආපු 
දළඹු පහසින් කෙහෙල් මල
මොනවදෝ හොයනවා

දෙන්න මල් රොන් නැතුව
කෙහෙල් මල තැවෙනවා
වෙන්න සමණල් බැරුව
දළඹු දුක අහනවා

දළඹු පෙම ගාවගෙන
කෙහෙල් මල කසනවා

Wednesday, August 5, 2015

දකුණ විසින් උතුර මුදාගැනීම සහ උතුර විසින් දකුණ මුදාගැනීම



‘‘2009 මැයි 18 දකුණ විසින් උතුර මුදා ගත්තා. 2015 ජනවාරි 08 උතුර විසින් දකුණ මුදා ගත්තා.’’ ඉහත කියමන මාගේ ළබැඳිතම මිත‍්‍රයෙකු විසින් පසුගිය ජනවාරි 08 වැනිදා සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාවගේ බහුතර කැමැත්තෙන් දිනා ගත් ජනතා ජයග‍්‍රහණය අරබයා කියන ලද්දකි. අතිශය නිර්මාණශීලී මෙම කියමන වැඩි දුරටත් සාකච්ඡාවට ලක් කිරීම මෙම ලියමන ඉදිරියට ගෙන යාමට රුකුලක් වනු ඇතැයි සිතමි. 

දකුණ විසින් උතුර මුදා ගැනීම

උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් වැදුනු ප‍්‍රභාකරන් මිය ගියේ 2009 මැයි 18 වැනිදාය. ප‍්‍රභාකරන් සාධකය උත්පාදනය වීම කෙරෙහි තිඹිරිගෙය වූයේ සුළු ජාතීන් ඒතාක් විඳි පීඩනයයි. එමෙන්ම දෙමළ ජනයා අතර පවත්නා කුල බේදයද ඊට පොහොර සැපයූ අතර ප‍්‍රභාකරන් අයත් වූයේ දෙමළ සමාජයේ පීඩිත කොටසටයි. කොටි සංවිධානය පමණක් නොව එසමයෙහි උතුරේ තවත් කල්ලි කණ්ඩායම් ආයුධ අතට ගත් අතර ප‍්‍රභාකරන්ගේ දැඩි වියුරුකාමීත්වය හමුවේ ඒවා නිෂේදනය වී කොටි සංවිධානය පමණක් ඉතිරි වූ අතර දෙමළ ජනයාගේ එකම නියෝජිතයා ලෙස පෙනී සිටීමටද පටන් ගන්නා ලදි. අනික් අවිගත් කණ්ඩායම් මර්ධනය කර දෙමළ ප‍්‍රජාවේ එකම ගැලවුම්කරුවා ලෙස පෙනී සිටින්නට පටන් ගත් කොටි සංවිධානය තම පාලන බලය පැවැති ප‍්‍රදේශයන්හි තමන්ගේම පොලිස් සහ උසාවි ක‍්‍රමයක් පවත්වාගෙන ගියහ. ගරිල්ලා සංවිධානයකට සුවිශාල බලයක් ආරෝපණය වෙද්දී විශේෂයෙන්ම ජාතිකත්වයක් පදනම් කරගත් එවන් සංවිධානයකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික ලක්ෂණ අපට අපේක්ෂා කළ නොහැකිය. එය එසේම සිදු විය.

ජාත්‍යන්තරව අප‍්‍රසාදයට පත් ළමා සොල්දාදුවන් යුද්ධයට යොමු කරවීම සහ දෙමාපිය ඇසුරින් ළමුන් බලෙන් පැහැරගෙන යාමේ සිට ඔවුන්ව ගරිල්ලා යුධ පුහුණුව ලබා දී යුද්ධයට යොමු කිරීමට කොටි සංවිධානය කටයුතු කළේය. ඉතිහාසය විකෘති කරමින් තම පාලන ප‍්‍රදේශවල අනාගත පරපුරට දෙමළ නිජ භූමිය පිළිබඳ වෙනම ඉතිහාසයක් උගන්වන ලද අතර තම මතයට එරෙහිවන දෙමළ බුද්ධිමතුන් ඝාතනය කරන ලදි. ඉන්දියාවේ සිට ගෙනෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය අගනුවරට පැමිණීම කොටි සංවිධානය හරහා සිදුවූ බවට ආරංචි එකල්හි පැතිර ගිය අතර එය ඔවුන්ට ධනෝපායන උල්පතක් වූ බව නොරහසකි. ඉතිං දකුණේ රාජ්‍ය බලයෙන් උතුර මුදා ගැනීම යනු උතුරේ ජනයාට වඩාත් යහපත් හෙට දවසක් වෙනුවෙන් දොරටු හැරීමක් නොවේද? 

සිහින අයාලේ යාම

දකුණ විසින් උතුර මුදා ගැනීමෙන් පසු උතුරද දකුණද සුර පුරයන් විය යුතුව තිබූ නමුත් සිදු වූයේ උතුර සහ දකුණ දැඩි පාලනයක මර්ධන කි‍්‍රයාවලියකට නතුවීමය. උතුර අවතැන් කඳවුරක්ද දකුණ මිහිඳුසෙන් පුර මහල් නිවාස සංකීර්ණයක්ද බවට පත්විය. දකුණේ සමස්ත කි‍්‍රයාකාරීත්ව පද්ධතිය කඩා වැටෙද්දී උතුර ගැන කුමන කතාද? දේශපාලනික බල බෙදීමක් හරහා සමාන සැලකිල්ලක් ලබා දී උතුරුකරය විසින් දේවත්වයෙන් අදහන තත්ත්වයට පත්වීමට රාජපක්ෂ රෙජීමයට හැකියාව නොඅඩුව තිබුණි. එහෙත් යුද්ධය නිමාවත් සමග යළිත් කිසි දිනෙක ජනතාව තමන්ව ගෙදර නොයවනු ඇතැයි යන මහන්තත්වයෙන් ඔළුව උදුම්මාගත් පාලක පැලැන්තිය කළේ දේශපාලනික විසඳුම් වෙනුවට දැවැන්ත පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘතීන් ඇරඹීමය. 
ඒවා උතුරට උතුරු වසන්තය ද නැගෙනහිරට නැගෙනහිර නවෝදය ද යන නම්වලින් බෞතීස්ම කරන ලදි. දකුණට ඒ සංවර්ධනය ආවේ රාජපක්ෂ නාමය යටතේ බෞතීස්ම වූ නැව් නොඑන වරායල ගුවන් යානා පහත් නොකරන ගුවන් තොටුපොළ විලාසයෙනි. ඉදිරි පරම්පරා ගණනකට ප‍්‍රයෝජනයක් නොලැබෙන කොන්කී‍්‍රට් තට්ටුවලට වඩා අත්සනක් ගසන වේගයෙන් ප‍්‍රතිඵල නෙලාගත හැකි දේශපාලන විසඳුමකට ඔවුන් තල්ලූ නොවූවෝය. රට වෙනුවෙන් ප‍්‍රමුඛතාවය ලබා දිය යුතු කුමකටදැයි අවබෝධ කරගැනීමට අසමත් පසුගිය ආණ්ඩුවේ පාලකයෝ දෙවැනියට කළ යුතු දේ පළමුව සිදු කර පළමුව සිදු කළ යුතු දේ අනවශ්‍ය කරදරයක් සේ බැහැර කළහ. 

උතුර විසින් දකුණ මුදා ගැනීම 

දකුණ දකුණේ කෙටි කාලීන කැරළි දෙකකට හසු විය. ඉන් පසුව උතුරින් හැමූ පීඩනයටද නතු විය. උතුර දීර්ඝ කාලීන එක් කැරැල්ලකට නතු වූ අතර එහි පීඩනයෙන් ඩයස්පෝරාවක්ද නිර්මාණය විය. කෙසේ වුවද උතුර දකුණට වඩා හැමදාම ඉදිරියෙන් සිටි බව මාගේ විශ්වාසයයි. දකුණ විසින් උතුර මුදා ගැනීම කිසියම් අපරාජිත පාලනයක් ඉදිරි කාලයේදී නිර්මාණය කරගෙන පවුල් පාලනයකට දොරටු විවර කිරීමේ ක‍්‍රමෝපායක් විනැයි කාට නම් කිව නොහැකිද? එහෙත් උතුර විසින් දකුණ මුදා ගැනීම වනාහී කිසිදු ලාබ ප‍්‍රයෝජනයකින් තොරව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් දෑත දිගු කිරීමක් මිස වෙන කුමක්ද? 

උතුරේ බහුතරය විඳි වේදනාව එදා දකුණේ බහුතරයකට නොතේරුම් ගියද දකුණේ වේදනාව උතුරේ ඩග්ලස් දේවානන්ද සාධකය හැර සියල්ලන්ටම දැණුනි. කොටින්ම කියනවානම් මුළු උතුරටම දැණිනි. දකුණේ සිටින්නේ පුත්තලම් බූරුවන් වත් උතුරේ සිටින්නේ ඩෙල්ෆ්ට් බූරුවන් වත් නොවන බව ආණ්ඩු පාලකයින් තරයේ අවධාරණය කර ගත යුතුය. ඊට හොඳම උදාහරණය පසුගිය ජනවාරි 08 ජනතා ජයග‍්‍රහණයයි. දකුණ විසින් උතුර තුවක්කුවෙන් මුදා ගනිද්දී උතුර විසින් දකුණ මුදාගත්තේ මැතිවරණ කතිරයෙනි. 

දිනූ දේ රැක ගැනීම

ජනවාරි 08 නිහඬ විප්ලවයෙන් ලබා ගත් ජනතා ජයග‍්‍රහණය ආපසු හැරවීමේ විනාශකාරී ගමන නුගේගොඩින් ඇරඹෙනවා අපි දුටිමු. යුද්ධයේ ජයග‍්‍රහණයෙන් මත්වූවන්ට මහින්ද රාජපක්ෂ යනු සදාතනික වීරයෙකි. උතුරේද ප‍්‍රභාකරන් මිය ගියේ නැතැයි අදහන තවත් පිරිසකි. මේ දෙපාර්ශවයම මෙවර මහ මැතිවරණයට පැමිණෙන්නේ තම අන්තවාදී මතවාදවලට ජනතාව බිලි බා ගනිමිනි. රජයන්ට ආවේණික පාලන ක‍්‍රම වේද තිබේ. යුද්ධය යුද්ධයෙන් අවසන් කිරීම පසුගිය රජයේ ක‍්‍රම වේදය වූ අතර එක්සත් ජාතික පක්ෂය සිටියේ දේශපාලන කි‍්‍රයාමාර්ගයකින් යුද්ධයකට තල්ලූ නොවී මේ ගැටළුව නිරාකරණය කරගත යුතුය යන මතයේය. යුද්ධයෙන් ජයග‍්‍රහණය ලබා ගත් පමණින් එක්සත් ජාතික පක්ෂයේ ක‍්‍රමවේදය ප‍්‍රතික්ශේපිත යැයි අපට කිව නොහැක්කේ එය කි‍්‍රයාත්මක වීම අතරමගදී නැවතුන නිසාය. 

උතුර දකුණට ප‍්‍රතිඋපකාර ලබාදී ආදරය පෙන්වා තිබේ. වෛරයේ සෙවණැලි වලට නැවත මේ බිමේ පැලපදියම් වීමට කිසිදු ඉඩක් ලබා දිය යුතු නැත.  



අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි  

Sunday, August 2, 2015

නුඹේ කරගන්න සයනය - මගේ කරගමි එහි පාමුල


කවදාවත්ම 

සිප ගන්න ඉඩ නොදුන්නට

නුඹව මට

මම තොල ගෑ තැනින්ම

ඇයි ඕනෙ වුනේ 


බොන්නට කෝපි උගුර





කියවන්න ගැහැණු සිත

ළාමකයි තවම මම

හැරෙන්නට බෑම කියන

බර සාර පිරිමි හිත



සැතපෙන්න ඇහුවාම

නුඹ අඬන කරුණු කිම


කුකුල්ලුත් නැගිටින්න හදන

පාන්දර වෙනකං තනි රැක

කොහොම නම් දමා යන්නද




නුඹේ කරගන්න සයනය

මගේ කරගමි එහි පාමුල


සිහිනයක් වත් දැක

පෙරළෙන්න ඉතිං නුඹ

සයනයට වඩා ඉඩ වැඩියි

සීතලයි මේ පොළොව

කටුක කටු






ළඟින්ම දැනෙන වෙලාවට

ගොඩක්ම දුරයි කිව්වට

ගෑණු හිත පුදුමයි වෙලාවකට

බරක් නෙවෙයිද හැංගීම හිතකට





වෙන් වෙච්ච ඉඩ පුරවන්න එනවද

කියවන්න නුඹව බැරිකමක් තියේවිද

ආදරේ කොහොමත් ආත්මාර්ථයි නේ

මං ළඟට නාවට සුවඳ දැනෙනව නේද




හැරුණෙ නෑ තාම හිටපු තැනමයි

පිරුණෙ නෑ මාව තාම පාළුයි

හිත ගමන් යන පාර හරිම කටුකයි

කටුක කටු මත ඉඳිමු සිනිඳු පහසයි