Saturday, November 14, 2015

කෝම්පිට්ටු සහ අතිරස ලැබුනෙ පුතේ මෙන්න මෙහෙම


එකෝම එකෝ මත්තෙක කාලෙක ලස්සන ගමක් තිබුනා. ඒ ගමේ කන්දක් මුදුනෙ පුංචි ගෙයක් තිබුනා. ඒ ගෙදර හිටියෙ අම්මයි තාත්තයි අයියයි මල්ලියි. අයියගෙ නම කෝම්පිට්ටුවා. මල්ලිගෙ නම අතිරසයා.

ඔන්න ඉතිං දවසක්දා මේ දෙන්නා සෙල්ලම් ගෙයක් දැම්මා. කැලෙන් කෝටු කපං ඇවිත් පොළොවෙ ඉන්දලා ඒවා උඩට හබරල කොළ දාලා ලස්සන වහලෙකුත් හැදුවා. දැං ඒක ලස්සන සෙල්ලම් ගෙයක්. 
ඊට පස්සෙ සෙල්ලම් කෑම හදමු කියල ඒ දෙන්නත් එක්ක කතා උනා. කෝම්පිට්ටුවගෙයි අතිරසයගෙයි අම්මයි තාත්තයි ගොඩාක් දුප්පත් නිසා සෙල්ලම් කෑම හදන්න සෙල්ලම් පිඟන් කෝප්ප තිබුනෙ නෑ ඒ ගෙදර. ඉතිං ඒ දෙන්නට ගොඩාක් දුක හිතුනා. දුක හිතිල අන්තිමේ අතිරසයා අඬන්න ගත්තා.

හා හා මල්ලි අඬන්න එපා අපි කොහොම හරි සෙල්ලම් කෑම හදමුකෝ කෝම්පිට්ටුවා කිව්වා.
කෝම්පිට්ටුවා කුස්සියට දුවල ගිහිං අම්ම විසිකරපු පොල් කට්ටක් අරං ආවා. අතිරසයා අඬන එක නවත්තලා කෝම්පිට්ටුවා මොකද කරන්නෙ කියලා බලාගෙන ඉඳියා. කෝම්පිට්ටුවා පොල් කට්ටට මිදුලෙ තිබුනු පස් පිරෙව්වා. පස් ටික තද කරල අනිත් පැත්ත හැරෙවේවා. ඊට පස්සෙ පොල්කට්ට ගැලෙව්වා. අතිරසයා මීට කලින් මෙහෙම කෑමක් දැකල තිබුනෙ නෑ.

මොකක්ද අයියෙ මේ සෙල්ලම් කෑම ජාතියෙ නම අතිරසයා ඇහුවා. ඒකට නමක් දන්නෙ නැති නිසා කෝම්පිට්ටුවා ඒකට එයාගෙ නම දැම්මා. 
කෝම්පිට්ටුනෙ මල්ලි මේ 

අම්මටත් අඬගහල අළුත් කෑම ජාතිය පෙන්නුවා. මේ දෙන්නගේ සෙල්ලම දිහා බලං හිටපු අම්මට ගොඩක් දුක හිතුනා. අම්ම කුස්සියට ගියා. ටික වෙලාවකින් වංගෙඩියෙ මොනවද කොටන සද්දයක් කුසියෙන් ආවා. ඊට පස්සෙ තෙල් සුවඳක් ආවා. 

අම්මත් අපි වගේ රස කෑමක් හදනවා ඇති මේ දෙන්නා හිතුවා. ටික වෙලාවකින් පිඟානක අමුතු කෑමක් බෙදාගත්තු අම්මා එතෙන්ට ආවා. ඒක රස කැවිල්ලක්. හරියට ලොකු හූනෙක් වගේ. අම්ම ඒක මල්ලිට දුන්නා.

හරි රසයි අම්මේ. මොනවද මේ අලුත් රස කෑම ජාතිය? මල්ලි අම්මගෙන් ඇහුවා.
කලින් කෑම ජාතියට අපි අයියගෙ නම දාපු නිසා මේ කෑම ජාතියට අපි ඔයාගෙ නම දාමු කියල අම්මා කිව්වා.
ඒ කෑම ජාතියේ නම තමයි අතිරස.

ඉතිං දුවේ පුතේ ඕන්න ඔහොමයි කෝම්පිට්ටු වලටයි අතිරස වලටයි ඔය නම් ලැබුනේ.

6 comments:

  1. පොඩි එකාට කියලා දෙන්න කතන්දරයක් හොය හොය හිටියේ.මේ තියෙන්නේ කතන්දරයක්...

    ReplyDelete
  2. අන්න හොඳ තාත්තා කෙනෙක්...ගොඩක් තාත්තලාට ‍වෙලාව නැහැනෙ තමුංගෙ දරු පැටියා එක්ක විනාඩියක්වත් ඉන්න.

    ReplyDelete
  3. මේ කතන්දරේ කියවනකොට මතක් වුණේ...ඉස්සර මමත් හරිම ආසයි මේ වගේ පුන්චි කතන්දර වලට.තාමත් එහෙමයි.ස්තුතියි ඒ අතීතයට එක්ක ගියාට.

    ReplyDelete
  4. මෙහෙ ආවෙ සෑහෙන දවසකිං බොලං
    හෙහ්.. ඒකත් මරු ස්ටෝරිය
    හැබැයි අර යටිං කියන කතාව ං මරු නෑ...
    අගෙයි බං

    ReplyDelete
  5. මරු කතාව... ජන කතා වලත් යටිං යන කතාවක් ඇති නේද? හොයන්න ඕනෙ.

    ReplyDelete
  6. කිචී ලස්සනම ලස්සනයි

    ReplyDelete