Thursday, August 23, 2018

තනිව විඳිමි

තවත් ඉතිං 
මග නොබලමි
තනිවම 
තනි මගකම යමි
හවුල් අවුල් වියවුල් මැද
පවුල් සිහින නොදැක හිඳිමි


බදාගන්න වැට වටකර
මා සතු කිසිවක්ම නොමැති
තබාගන්න අවැසි මතක
හිත් පොඩියේ ගුලි කරගමි


තරුත් නොමැති රාත්තිරියෙ
කණාමැදිරි පාර කියති
අඳුරට අවලාද නොකිය
ඒ එළියට දෑස යොමමි


හුස්මක් හැම අගිස්සකම
දුකක්ම විතරක්ම දනිමි
අමතක කර හුස්ම පවා
ඔහේ වෙසෙන්නෙක්ම වීමි


පාලකයෙකු හෝ වහලෙකු 
වන හීනය මරා දමමි
වරාමලක් වී පාවෙන
පාවිල්ලේ සුවය විඳිමි


ප්‍රේමය නම් කළු කුහරයෙ
ගුප්ත බවට වෛර බඳිමි
වචන වලින් සීමා වුනු
හැඟීම් හැබැහින්ම සොයමි


රස්තියාදු සංසාරේ 
සිදුහත් වන්නට නොහදමි
ආදරණීයයන්ට කලින්
නිර්වාණේ දොරටු වසමි

No comments:

Post a Comment