Sunday, April 12, 2015

ගුහාවෙන් එළියට


පුදුම පාලුවක් රෑ වෙලත් නෑ. කොක්කු රෑණක් මට ඉහළින් පියෑඹුවා.රාස්සිගේ අව්වට උන්ව දිළිසෙනවා. මළානික හුළඟ හිත හෝන්දු මාන්දු කරෝනවා.

පොත කියවන්නවත් හිතෙන්නෑ. කවියක් ලියන්න ඕනෙ මං බංකුවෙන් නැගිට්ටා. වේලුණ අඹ කොළයක් බංකුව උඩට පාවෙලා ආවා.

ඔය ඉපදෙන්නෙ කවි.

පාවී ආ
වියළි අඹ කොළය
හිඳගත්තේය
සිමෙන්ති බංකුව මත
පුරවන්න
මා නැගිටගත් පුරප්පාඩුව...........

වචන ටික සංස්කරණය නොකරම මං පුටුවේ ඉඳගත්තා. ඒත් කෝ අර වචන .....? වචන ටික හැංගිලා. හිත පැටලෙනව වගේ මට තේරුණා.

''දාර්ශනික කවියා කෝ උඹේ කවිකම්?''
කව්දෝ අහනව වගේ දැනුනා.

''නොලියූ කවිය වෙන්න ඇති''
ලියූ කවිය සුන්දරයි නොලී කවිය ඊටත් වඩා සුන්දරයි කියනවනේ.

මං ලෝකෙන්ම හැංගෙන්න හිතාගෙන මේ කන්දට ඇවිත් හතර මාසෙකටත් වැඩියි. ටෙලිෆෝන් නෑ ලයිට් නෑ හරිම නිශ්ශබ්දයි. මං දන්නවා විශ්ව ගම්මානය ඇතුලෙ මට වනචාරී හුදෙකලා වීරයෙක් වෙන්න බෑ.

අප්පච්චිගේ කන්දෙ වත්තේ පාලු පොඩි ගෙයි මං අලස සුවය විඳිනවද? භාවනා කරනවද? අතීතයත් එක්ක පොර බදිනවද?
මටම මාවම තේරුම් ගන්න බැරිවෙලා.

හුදෙකලාව හොයාගෙන මේ දූපතේ කීතැනකට නම් මං ගියාද?
තිසා වැව් බැම්මේ සියඹලා ගහක් යටට වෙලා පොසොන් හඳ දිහා බලං හිටියා මහ රෑක. අන්තිමේ පොලිස් ජීප් එකක් මං ගාව නවත්තලා ප්‍රශ්න කරන කල්ම මං දන්නෙ නෑ.

''පොසොන් වලට අනුරාධපුරේ ඇඟිල්ලක් ගහන්න බෑ සර් ඒ තරමට සෙනඟ''
තිසාවැව රෙස්ට් හවුස් එකේ රූම් බෝයි කිව්වා.
මම වැරදි වෙලාවල වැරදි ප්‍රශ්න වලට වැරදි උත්තරමයි හොයල තියෙන්නෙ හැම වෙලාවකම. සිද්ධඋනේ මං තැලෙන එක විතරයි.

වැව රව්මේ වළාකුලු බැම්ම අයිනේ කී රවුමක් නං ඔහේ ඇවිදින්න ඇද්ද නුවරට වෙලා හිටිය සුමාන දෙකට. හැබැයි මට මම හොයපු පාලුව තනිකම හම්බ උනේ නෑ.

දැන්නං පාලුව මාව පොරෝගෙන.

පන්හිඳ තුඩග රැඳි නිසඳැසී
වදන් පැටලී තවම නොලී
ලියූ සහසක් කවි පරදී
සුන්දරයි කව තවම නොලී...........

නෑදෑයො යාලුවො මිත්‍රයෝ දකින්නැතුව ඉන්න තරං දැං හිත ගල් වෙලා.ඒත් සමහර වෙලාවට මේක පිස්සුවක් කියලත් හිතෙනවා.

බැමි‚තියා සායකට අහුවෙලා ඉරි තළල තිබුන හිතට එක කාලයක හීන් පි‚ වැස්සක් වැස්සා. නියෙඟට පොද වැස්සත් රත්තරං කියනවනෙ. ඔන්න ඔහොම කාලයක් සරල රේඛීයව ගමනේ යෙදිලා හිටි ගමන්ම විරහව වාන් දමන්න ගත්තහම තමයි මං දන්නේ ලෝකය කැරකෙනවා කියලා.

ලස්සනම ලස්සන හීනයක් එකපාරටම බිඳිල ගියා මම ගැස්සිලා ඇහැරුණා.

කාලයක් බොහෝම සමීප වෙලා තිබුන වීදිවල මම තනියෙන්ම ඇවිද්දා. ඉස්සර පුරුදු ගතිය අහලකවත් තිබුනෙ නෑ. සයිවර් කඩේ කොනේම මේසෙ මෙහා පුටුවෙ වාඩිවෙලා බීපු ප්ලේන්ටියේවත් කටට හුරු රසේ දැනුනෙ නෑ.

ජීවිතේ මහගිරිදඹේ
තුන්සරණේ කියූ කිංකිණියේ
මන්දස්මිතියේ හිරිගඬු නැංවූ
සීත ගඟුලියේ..............

පුරා හඳ එක පාරටම වළාකුළකට මුවා උනහම තරු නැති අහස අඳුරුයි. මට කණ්නාඩිය ඉස්සරහදීවත් මාව පෙනුනෙ නෑ.

''සරළ වෙන්න එපා සංකීර්ණ වෙන්න''
පණ්ඩිත වගන්ති දිග ඇරපු මම අද අන්ත අසරණ විදියටම අතීශයින්ම සරළ වෙලා.

ජීවිතේට මුක්කු ගහන්න කරු තියාගන්න හැරමිටියක් නැතුව බැරි මිනිස්සුන්ව කාලයක් මට පෙනුනෙ පුස්සො විදියට. පස්සෙ කාලෙක ජීවිතේට අත්වාරු සත්කාරයක් ලබපු මම අද සැරයටිය අතින් මිදීමේ විපාකය විඳෝනවා.

ජීවිතේ වාරුව ගං දියේ ගහගෙන ගියා. උඩුගං බලා යන්න හැදුවට මං අසාර්ථකයි කියල තේරුම් ගන්නවද නැද්ද කියලයි දැං හිත හිත ඉන්නේ.

වැලි අහුරු පුපුරු ගහන
වාලූකා කතරක
මිරිඟු වෑ කණ්ඩියක හිඳිමි
රැළි නඟන අපූරුව බල බල.................

වාලූකාවක වැවක් තියෙනවා අපි හිතමු සහරාව කියලා. මං ඒ වෑ කණ්ඩියේ ඉඳගෙන වැවේ ලස්සන බලනවා. හැබැයි මිරිඟුවක්.ලස්සනට රැළි නැගුනට බිඳුනට මිරිඟුවක්. යථාර්තයත් මිරිඟුවත් අතරේ වෙනස නොතේරෙන උන් අතරේ මම මනෝ මාළිගාවක හිර වෙලා.

වැට මායිං වලට ගහමරාගන්න තරං අසංවේදී හිත්වලට ධර්මය බර වැඩිද මන්දා. රටවල් ඛෙදා ගන්න යුද්ධ කරන මළමිනී ගොඩගහන මේ මනුස්ස රංචුව හෙට අනිද්දා වෙද්දී බත් ඇටේටත් මරා ගනීවි. ඉතිං මට තේරෙනවා මගේ ප්‍රශ්න හරිම සරළයි කියල. ඒත් ඒවා මත්තෙම මේ තරම්ම නැහෙන එකමයි මටත් තේරුම් ගන්න බැරි.

මොන තරං බරපතල වෙන්න හැදුවත් හැම පංචස්කන්ධයක් ඇතුලෙම බොළඳයෙක් ඉන්නවා. මට ඒක හොඳටම දැනෙනවා.

මල සිඹ සුවඳ ගෙන
රළ මාළ නංවගෙන
ගෙලවට හාදු තබමින
නල ඇදෙයි හිත කිති කවමින

බාඳුරා ගොටුව ඇතුලට අමෘත්තය හොයං යන කෘමියො වැටුන කටින් ගොඩ එන්න බැරුව මියෑදෙනවා. මම මාරයාට පරාජය නොවුනාට බීපු අමෘත්තය පත්තියං නොවීමේ විපාකය විඳවනවා. අත්තිවාරමක් නැතුව බිත්තියකට පවතින්න බෑ. අතීතයක් නැතුව මිනිහෙකුට වර්තමානයක්වත් අනාගතයක්වත් නෑ. කොච්චර අමතක කරන්න හැදුවත් මනුස්සයෙකුට තමංගෙ අතීතෙන් ගැලවෙන්න බෑ. හිතක සියුම්ම තැන් ස්පර්ෂ කරපු මතකයන් අපේ පස්සෙන් එනවා.

රන්වලාගල මුදුනේ
සුදු රෝස මල පිපුනේ
රොන් අමා විල සිඳුනේ
බාඳුරා යාය හිනැහුනේ................

ආයෙමත් සමාජගත වෙන්න කාලය ඇවිත් කියල මට හිතෙනවා. කී දෙනෙක් මාව දැකල පුදුම වෙයිද? කී දෙනෙක් මට හිනාවෙයිද? ඕවා ප්‍රශ්න කරගෙන බෑ.මම බැට කෑවේ සමාජගත ජීවිතයෙන්මයි. උත්තරෙත් එතනින්ම හොයා ගන්න ඕනෙ.

ඇය යන්නම ගිහින්. මගේ ලතැවිල්ලේ තේරුමක් නෑ. නොරිදෙන්න බැමි බැඳල තිබුන මිල කරන්න බැරි තැම් වටින රත්තරං හුය ගැලවිලා පාවෙලා ගියා. අත පොවන්න තියා හිතන්නවත් බැරි මානෙකට. ඒ හිනාවට අනන්‍යතාවයක් තිබුනා. ඒ තමයිි ලස්සනම හිනාව මට අනුව මම දැකපු.

ඉතිං ඒ හිනාවේ සින්නක්කර උරුමක්කාරයාව මම මගේ පරම වෛරක්කාරයා කරල සලකන්න ඕනෙද? ඇයි මං කාටවත් වෛර කරන්නේ. ඇයි මං ලෝකෙන්ම හැංගෙන්නේ.

ලෝකය මල් යායක් මං අහිංසකම සමණළයෙක් කියල හිතන්න මට බැරිද? හුළං පාරට ජනෙල් පියන් දෙක එකට ගැටුනා.

දවස දවස ඉරගල වැටුනා
ආකාසයේ සිත්තම් මැවුනා
සීරුවෙන් හොරෙන් තරු මල් ගැන්නා
ජනෙල් පියන් වැසුන සරින් මගෙ සිහිනය බිඳුනා

මම ඇඳුම් බෑග් එක අතට අරං දූවිලි පිහදැම්මා.


අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි

No comments:

Post a Comment