Tuesday, July 28, 2015

සුළඟ එනවා අපි රුවල් බා ගමු




මහින්ද සුළඟ එනවා සහ මහින්ද සමග නැගිටින්න මේ දිනවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද පාර්ශවයේ සටන් පාඨයන්ය. කතා දෙකක් නැත සටන් පාඨ ආකර්ෂණීයය. ඇඩ්වර්ටයිසින් භාෂාවෙන් කියනවා නම් කැචී ලයින්ස්ය. ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාව නැවත වරක් දේශපාලනයට රැගෙන ඒමට උත්සාහ ගන්නා අවධියේ කීවේ මහින්දාගමනය කියාය. එහෙත් මහින්දාගමනයන් දෙකක් සිදු වීම මේ රටට දෙවරක් බුදු දහම රැගෙන ඒම වැනි දෙයකි. පළමුවර ගෙන ආ බුදු දහම නිකං හරි මදි වගේ යැයි සැදැහැවතුන් පැවසූ විට නැවත වරක් බුදු දහම රැගෙන එනවා වැනි වැඩකි. ඇත්තටම සන්ධානයට සිදු වූයේද එයමය. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඔවුන් දේශනා කරන ලද දේශපාලනික ධර්මය වරක් අසා දෙවැනි වරත් අසා එපා වූ විට ජනතා සුපින්වතුන් තෙවැනි වර ඒ බණ ඇසූවේ නැත.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්ෂිකයෝ ජාතිආලයට දිවි හිමියෙන් ලැදියාවන් දක්වන්නන්ය.  ඒ බිජුවට සරුවට පැලවීම සඳහා බොදු බල සේනාවෙන් මෙන්ම නාථ දෙවියන්ගෙන්ද ඔවුන්ට පොහොර ලැබුණි. සරදමකි. සන්ධාන ජාතික ලැයිස්තුවෙහි ඉන්දීය රහස් ඔත්තු සේවාවේ චරපුරුෂයින් සිටිනවා යැයි කියමින් නාථ දෙවියන්ගේ සිංහලද්වීප ඒජන්තයා වූ මහාචාර්ය නලින්ද සිල්වා මහතා ඒ ලැයිස්තුවෙන් ඉවත් වී තිබේ. ඔවුහු ජාත්‍යාලය කරන පිරිසක් බව පෙර සඳහන් කළෙමි. එම නිසා සිංහලේ මූලය වූ රාවණාට පුදුමාකාර ගෞරවයක් දක්වති. මහින්ද රාජපක්ෂ මහතා රාවණා රජු සේ බල පරාක්‍රම දක්වද්දී කුරක්කන් පිටි ආප්පයක් කා එහි ශක්තියෙන් විභීෂණ කෙනෙකු වී දඬු මොණරයේ රේඩාර් සංඥා වෙනස් කරන ලද්දේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. අවසානයේ විභීෂණ රාමගේ සහයෝගයෙන් ලංකාවද ඩැහැ ගත්තා සේ මෛත්‍රීපාල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඩැහැගත්තේය.

වැඩි කල් ගියේ නැත. මහින්ද සුළඟ හැමුවේය. පක්ෂයේ නායකකම හැර බොහෝ දේ ඒ සුළඟට හසු විය. දැන් මහින්ද සුළඟ රටටම හමන්නට ලෑස්තියක් වෙන බව පෙනේ. තුනක් බෑ කියූ සරත් සිල්වාගේ අතද හුළං පොම්පයකි. මහින්ද යුගයේ මහින්ද වාදීන්ගෙන් පක්ෂයට වූ හානි ගැන කඳුලින් දුක කියූ ජනක බණ්ඩාර තෙන්නකෝන්ද කවියෙන් ඉල්ලා අස්වී මහින්ද රාජපක්ෂ මහතාගේ දෙපා වඳිනු අපි දැක්කෙමු. මහින්ද මහත්තයා විවේකයෙන් බණ දහමට යොමුවීම හොඳ යැයි කියූ එස්. බී ද දැන් කියන්නේ ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍රකාශයෙන් පක්ෂයට දැඩි හානි සිදු වූ බවය. අනුරාධපුරයේ දුමින්ද දිසානායකත් කළුතර මහින්ද සමරසිංහත් මහින්ද විරෝධය පෑවද සමස්තය ලෙස නම් පක්ෂය තුළ දැන් තත්ත්වය මහින්ද රාජපක්ෂට වාසිදායකය. ඒ කියන්නේ මහින්ද සුළඟ ඒවිද?

අපි සොයා බැලිය යුත්තේ සුළඟ ඒවිද සුළඟ හමන අත කුමක්ද යන්න නොවේ. සුළඟ ආවොත් මොන මොන දේවල් ගසාගෙන යයිද කියාය. මහින්ද සුළඟක් නොව සුළි සුළඟක් තරම් බලවත්ව තෙදවත්ව හැමූ යුගයේ ගසා ගෙන නොගියේ මොනවාද? ආයතන පද්ධතිය කඩා ගෙන වැටුනේ චීනයේ නිෂ්පාදිත වාහනයක එන්ජිම ගෙවෙනවාටත් වැඩි වේගයකිනි. කුමට එවන් අධිකරණය නීතිය සහ විනිසුරන් යැයි නන්දා මාලනීගේ ගීත නාදය ඇසෙන්නට තිබුනේ ඒ අවධියේය.

සැබෑවකි බහුතර ජනයාට අධිකරණයේ ස්වාධීනතාවය වත් මානව හිමිකම්වත් වැදගත් නැත. වැදගත් නොවන්නේ ඒ පිළිබඳ දැක්මක් දැනුමක් ඔවුනට නොමැති බැවිනි. පාලනයක පීඩනය ඔවුන්ට දැනෙන්නේ බඩ ගින්න සමගය. ඒ බඩගින්න අමතක කරන්නට තරම් හැකියාවක් පසුගිය රජය විසින් නිර්මාණය කරන ලද බොරු ජාත්‍යාලයට සහ බොරු ජාත්‍යන්තර කුමන්ත්‍රණ බිල්ලන්ට හැකි විය. ජාත්‍යන්තරයට අඩෝ කියන ක්‍රමයකට අපේ රටේ බහුතරය කැමැතිය. සැබැවින්ම එහි චණ්ඩි ත්‍රිලක් ඇත. අප වැනි ශක්ති හීන රජ්‍යයක් ජාත්‍යන්තරයට අඩෝ කියන විට ඔවුහු අධෝ මුඛයෙන් අපට සිනාසෙන බව නොදන්නා මේ දූපත් වාසීහු පවසන්නේ ජාත්‍යන්තරය හමුවේ දණ නොගසන නායකයෙකු අපට උවමනායි කියාය.

මහින්ද සුළඟේ ගසාගෙන යාමෙන් වැළකීමට නම් අපි මහින්ද සුළඟේ විනාශකාරීබව අවබෝධ කරවීමේ කාර්යභාරය ඡන්ද මධ්‍යස්ථානය දක්වාම රැගෙන යා යුතුය. එනම් කොයි තරම් මහින්ද වාදියෙකු වුවද අවසාන මොහොතේ හෝ තම මතය වෙනස් කරගන්නා තැනට තල්ලු කළ යුතුය. ආණ්ඩුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා පසුගිය සමයේ රජයේ නිලධාරීන් මෙන්ම හිටපු මන්ත්‍රීවරුන්ද අධිකරණය හමුවට ගියහ. අධිකරණය විසින් ඔවුන් ඉල්ලා සිටි තාවකාලික තහනම් නියෝග ලබා දෙනවා අපි දුටිමු. මහින්ද විරෝධීන් වුවද මේ පිළිබඳව සතුටු විය යුතුය. ඒ පෙන්වන්නේ ඔවුන් පැතූ රට ගොඩ නැගෙන ආකාරයයි. ඔවුහු පසුගිය ජනවාරි අට වැනිදා තම කතිරය සටහන් කරන ලද්දේ පක්ෂයක් වෙනුවෙන් නොව හෙටක් වෙනුවෙනි. එහිදී අධිකරණයට අත පෙවීම නතර විය යුතුය. ආණ්ඩුව විසින් සිදු කරන ක්‍රියාවකට එරෙහිව වුවද අධිකරණය හමුවට ගොස් සහනයක් ඉල්ලා සිටීමට හැකියාව තිබිය යුතු රටක් ගොඩ නැගීම වෙනුවෙන් අපි එදා ඡන්දය ප්‍රකාශ කෙරුවෙමු.

ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය නිලයෙන් පහ කළ ආකාරය රටේ නීති පද්ධතියේ නොමැකෙන කළු පැල්ලමක් විය. පකිස්ථානයේ අග විනිසුරුවරයා මීට වසර ගණනාවකට පෙර නිලයෙන් පහ කරන්නට යාමේදී එරට නීතීඥ ප්‍රජාවේ තරම් සක්‍රීය දායකත්වයක් මෙරටින් දක්නට නොලැබුනද ශ්‍රී ලංකා නීතීඥ සංගමයද විශිෂ්ට කාර්යභාරයක් එහිදී සිදු කරන ලදි. ඔවුන්ට එම සීමාවෙන් ඉදිරියට නොයාමට ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ එවක පාලන රාමුව විසින් අනීතික බලපෑම් සිදු කිරීම ප්‍රසිද්ධියේ සිදු විය.

පාලනයක් එපා වන්නේත් එය වෙනස් කරන්නට වැඩි දායකත්වයක් ලබා දෙන්නේත් බොහෝ විට පාවෙන ඡන්දයන්ය. පාවෙන ඡන්ද නියෝජනය කරන්නේ උගත් බුද්ධිමත් තලයේ ඡන්ද දායකයන්ය. පසුගිය රජය විසින් රටේ නීති පද්ධතියෙහි කරන ලද කඩා වැට්ටවීම් නිසා යුද්ධයේ නිමාවත් සමග මහින්ද රාජපක්ෂ දෙසට හැරුණු පාවෙන ඡන්ද මෛත්‍රීපාල සිරිසේන සොයා යන ලදි. ඔවුනට වැදගත් වන්නේ ගෑස් මිල අඩුවීම හෝ බියර් පෙරන්නට වැඩි මිලට ගොවියාගෙන් සහල් මිලදී ගැනීම නොවේ. ඔවුන්ට වැදගත් වන්නේ බියර් පෙරන්නට ගොවි ජනතාව වෙත වැඩි මුදලක් ලබා දී සහල් මිලදී ගැනීම නිසා වෙළෙඳ පොලේ සහල් හිඟයක් ඇතිවී සහල් මිල ඉහළ යාමය. පසුගිය ජනවාරි අට වැනිදාට පෙර යුගයේදී අනුගමනය කෙරුණේ හෙංචයියන් ලවා බියර් නිෂ්පාදනය සඳහා වී අස්වැන්න වැඩි මිලට මිලදී ගනිමින් අපි වීවලට ඉහළ මිලක් දුන්නා යැයි කියන ආකාරයේ අනුවණ උපක්‍රමයන්ය. 

ගොබෙල්ස් ගේ තියරිය නැතිනම් එකම බොරුව නැවත නැවත කියමින් එය ඇත්තක් බව ඒත්තු ගැන්වීම පහසුය. එහෙත් ගොබෙල්ස්වරුන්ට නොතේරෙන පරදි වර්තමානය වන විට ජනතාව සංවිධානය වී සිටිති. නායකයින් නොමැති මතවාද සංසරණය වීම් අද වන විට අධිපති මාධ්‍යයන්ගෙන් මිදී නිදහසේ සංසරණය වෙයි. ජනතාව ඒවායින් නිවැරදි මතය තෝරා ගනිති. රාජ්‍ය මාධ්‍ය මහින්ද රාජපක්ෂගේ දැන්වීම් ඉතාම අවම මිලකටත් මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ අභියෝග කෙරූවන්ගේ දැන්වීම් ඉතා අධික මිලකටත් ප්‍රචාරය කරද්දී එවක අපටත් දැනුනේ මෛත්‍රී ඇවිත් හමාරයි කියාය. ලයිට් කණුවක් කණුවක් ගානේ මහින්දගේ කටවුට් එල්ලූ ඒ සමයේ මෛත්‍රී ගේ කටවුට් එකක් සොයා ගැනීම කළුනික සෙවීමක් විය. ඊට වසර හතරකට පෙර ලක්ෂ විසි දෙකකින් සරත් ෆොන්සේකා පරාජය කර දිනාගත් ජනවරම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආගමනය හමුවේ ලක්ෂ හතරකින් පරාජය කරගන්නට මහින්ද රාජපක්ෂ මහතාට සිදු විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනවාරි අට වැනිදා පරාජයට පත් වූයේ බලය උපරිම ලෙස අවභාවිතයේ යොදවන අතරය. දැන් බලය ඇති යහපාලන ආණ්ඩුව රජයේ මාධ්‍ය පාලනයේදී විපක්ෂයට සාධාරණ ඉඩකඩක් වෙන් කර දෙයි. මේ වන විට යහපාලනයට සහ මහින්ද සුළඟට එකසේ නිර්දය විවේචන එල්ල කරන ජනතා විමුක්ති පෙරමුණේ පසුගියදා පැවැති සම්මේලනය සජීවීව විකාශය කරන්නට රජයේ රූපවාහිනී නාළිකා කටයුතු කිරීම පැසසිය යුතු කරුණකි.

මහින්ද රාජපක්ෂ පාලන යුගයේදී සොරු පොකුරු ගැසුවෝය. සොරු සිටියද දඬුවම් ක්‍රියාවට නැංවුනේ නැත. අපි ළඟත් සොරු සිටියා. අපි ඔවුන්ට දඬුවම් දුන්නේ නෑ. ඒ නිසා ජනතාව අපිට දඬුවම් දුන්නා යැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා කීවද සොරු කවුදැයි කියා කීවේ නැත. ඒ සොරුන් අතහැර මැතිවරණ සටනට පැමිණියේද නැත. ඉදිරි මැතිවරණයෙන් තමන් ලබා ගන්නා ආණ්ඩුව යටතේ සියලුම වැරදිකරුවන්ට දඬුවම් පමුණුවන සමානාත්මතාවයෙන් සපිරි රටක් නිර්මාණය කරන බව එතුමා මැතිවරණ වේදිකාවන්හිදී  මේ දිනවල පවසයි. එසේනම් දඬුවම් දෙන්නට හදන්නේ තමන් ලඟ සිටින හොරු හැර වෙනත් හොරුන්ටදැයි ප්‍රශ්නයක් මතු වේ. ඉතිං අපි සොර සුළඟට හසුවී අප සතු දෑ ගසා ගෙන යන්නට ඉඩ දෙනවාද?

එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කරනුයේ ලොසින්ජර පන්නයේ පොරොන්දු මල්ලකි. ඒවා දේශපාලන පක්ෂයක් විසින් ජනතාව ඉදිරියේ තැබිය යුතු තාර්කිකත්වයෙන් පිට පනින ලද අන්ධභක්තික පාක්ෂිකයන්ට පමණක් සුදුසු ඒවාය. අප පෙර කී පාවෙන ඡන්ද හිමි බුද්ධිමත් පිරිස් ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් ඒවාට නැත. ශ්‍රී ලංකාව කුඩා පරිමාණයේ රටක් වන අතර නුදුරු අනාගතය තුළ අප සතු භූමිය දිනෙන් දින ඉහළ යන ජනගහණයත් සමග සීමා වනු ඇත. එවිට කෘෂි කර්මාන්තයෙන් පමණක් අපට රටක් ලෙස ඉදිරියට යාමේ හැකියාව සීමාවේ. එසේනම් අපි නව තාක්ෂණයට එළඹිය යුතුය. ගෝලීය ප්‍රවණතා හඳුනාගනිමින් ඒවා රටේ දියුණුවට උපයෝගී කරගත යුතුය. ගූගල් සමාගමේ විශේෂ නියෝජිතයින් ලංකාවේ ව්‍යාපාර මෙහෙයුම් දියත් කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා සමග පසුගියදා සිදු කළ සාකච්ඡාව වැනි ව්‍යාපෘතීන් ඵලදායී මට්ටමකට රැගෙන ආ යුතුය. ක්ෂිතිජයෙන් එහා දකින මිනිසුන් තනනවා යැයි කිය කිය ලංකා මැඩියන් තැනිය යුතු නැත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඩැහැගනිමින් සිටින පිරිසට ඇත්තේ කාපට් වර්ගයේ සිහිනයන්ය. කාපට් ඇතිරූ අධිවේගී මාවත් රටක දියුණුවට අත්‍යාවශ්‍යය. නමුත් සාමාන්‍ය පවුලේ ගමන් සඳහා ඒ මං මාවත් උපයෝගී වනවා සේම ඒ මාර්ග දිවෙන පළාත්වල නිෂ්පාදනයන් අගනුවරට රැගෙන ඒමේ ක්‍රමෝපායන් සකස් විය යුතුය. හම්බන්තොටින් ගොඩ බා කොළඹට ගෙනෙන වාහනයට අමතර ප්‍රවාහන ගාස්තුවක් අයකර එය පාරිභෝගිකයා පිට පටවන ජාතියේ දැනට පවතින සන්ධාන පන්නයේ සුදු අලින් කොටු කළ යුතුය.

සුළි සුළං හමද්දී නැවක් රුවල් දමන්නේ නැත. දූපතක් ලෙස අපට චීනය දෙසට පමණක් ඉබා ගාතේ පාවිය නොහැක. ලෝකය හමුවේ පීඩනයකින් තොරව නොබැඳි පිළිවෙතින් නැගී සිටීමට නම් කරදරකාරී සුළං පැමිණෙද්දී රුවල් බා ගත යුතුය. එවිට සුළඟට මිස අපට බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවන්නේ නැත.




අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි 

14 comments:

  1. නියම දේශපාලන විග්‍රයක් කිචියෝ................ ඒක කියවලා අපිටත් කිචි වගේ....

    ReplyDelete
  2. අපිට කිචි - රටට හිරි ........හැක් හැක්

    ReplyDelete
  3. V.Well written. Good to see people thinking and analysing in the right way.

    ReplyDelete
  4. Replies
    1. බොහොම ස්තූතියි නෙළුම් යායේ ලේකම් මහත්තයා

      Delete
  5. කිචියා දයාන් ජයතිලක වගේ පොරක් වෙන්නවත් හදනවද බොලේ.....

    ReplyDelete
    Replies
    1. අම්මෝ නෑ සජ්ජො. එහෙම උනොත් උඹලට එක එක දවසට එක එක ජාතියෙ මතවාද තමයි කයවන්න වෙන්නේ

      Delete
  6. වරදක් තියනවා. ජවිපෙ සමුලුව ප්‍රචාරය කිරීම අමුතු දෙයක් නෙමේ. ජවිපෙ රජයේ පාර්ශ්වකරුවෙක්. රජයට මිතුරු විවේචන කරන කණ්ඩායමක්. ජවිපෙ නායකයන් එජාප නායකයන්ගෙ අඹ යහළුවන්. ඔවුන් අතර ආර්ථික සම්බන්ධක ගැනත් කතා යනවා

    යහපාලන හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ.ඒ අනුව මේ හොරු ඇල්ලීම දේශපාලන පලිගැනීමක් තමයි.

    කුඩා ජාතියක් කියා වේස ගෑනිගෙ පලාමල්ල වෙන්න ඕන කියලද ඔබ කියන්නෙ

    ඒ කාලෙ තිබුනෙ පයින්වත් යන්න බැරි වලගොඩැලි පාරවල්. ඒව ගම්වල අපි දන්නවා. දැන් ඒව කාපට් කරල. කුහල වෙන්න එපා.
    සංවර්ධනය කියන්නෙ ජාතික ගීය දෙමළෙන් ගැයීම නෙමෙයි . මම එය නරකයි කියනවා නෙමෙයි. හැබැයි ඔබට තියෙන්නෙ ඒ වගෙ ළාමක දේශපාලන දැක්මක්

    ReplyDelete
  7. එහෙනම් ඔබත් ජාතික ගීය දෙමළෙන් ගයනවාට කැමතියි ඇනෝ?

    ReplyDelete
    Replies
    1. එහි වරදක් නෑ. නොතේරෙන බාසාවකින් ගයන ජාතික ගීයෙන් ඇති වැඩේ මොකක්ද
      මට තියන ප්‍රශ්නෙ සමහරු මේකට විරුද්ධ ඇයි කියන එක.
      උතුරෙ ඉඩම් මුල් පදිංචිකරුවන්ට දීමත් ක්‍රමානුකූලව සිදුවිය යුතු දෙයක්

      Delete
    2. ඔබ හරි. ජවිපෙ ආණ්ඩුවේ පාර්ශවයක් කීම එතරම් තාර්කික නෑ නේද?

      Delete
  8. නියමෙටම කිචි කැවුවා

    ReplyDelete
    Replies
    1. ජහමනයාට කිචි දැනෙනව අඩුද මන්දා?

      Delete